Friday, September 7, 2018

“තිරුවංගල්”


“තිරුවංගල්” වග තුග සෙවීම

මේ වචනය ගැන කළ සෙවිල්ල අනුව දැනට එන්න පුළුවන් නිගමනය තමයි, තවමත් මේ වචනය සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ශ්‍රී ලාංකීය ජන සමාජයේ භාවිතා වන තැනක් හරියට සොයා ගන්න බැරි බව. ඒ වගේම මේ වචනය ද්‍රවිඩ හෝ වෙනත් බසකින් බිඳුනා නම් ඒ ගැනත් අනුමාන මිස පිළිගත හැකි සාධකයක් තවම හමුවී නැති බව. මේ වචනේ සිංහල ලිඛිත සාහිත්‍යයේ අවස්ථා තුනක එන බව පැහැදිලියි. ඉන් මුල්ම යෙදුම කළ පරාක්‍රම කොඩිතුවක්කු (හරි වුනත් වැරදි උනත්) මේක වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන් නාසයට දමන කරාබුවට කියන නමක් කියන දැඩි විශ්වාසයකින් ඒ වචනේ යෙදුව බව පැහැදිළියි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ 1970 දශකයේ වතුකරයේ මේ වචනේ එසේ භාවිතා වූ බවට තහවුරු කළ හැකි වෙනත් කෙනෙක් තවම හමු නොවීම. ඉන් පසුව තිරුවංගල් කියන වචනේ යොදපු මහින්ද චනද්‍රසේකර මේක කණේ දමන කරබුවක් කියලා උපකල්පනය කරලා තමයි යොදලා තියෙන්නේ. ඉන් පසුව තිරුවංගල් යොදපු රත්න ශ්‍රී විජේසිංහ මෙය කණේ පළඳින මැණික් ගලක් සහිත ආභරණයක් හෝ වඩාත් පැහැදිලිව කිවුවොත් කරාබුවක ඇති මැණික් ගලක් කියලා උපකල්පනය කරලා තියෙන්නේ. හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. නමුත් අද වෙන කොට මේ වචනේ ඒ අර්ථයෙන් සමාජය පිලි අරන් තියන බව පේනවා. එහි අර්ථය cliche එකක් බවට පත් වෙලා තිබුණත් ජනතාව එය අවබෝධ කර ගන්නේ කණේ දමන කරාබුවක් හෝ විශේෂිතව කිවුවොත් මැණික් ගලක් සහිත කරාබුවක් ලෙස බව පේනවා. ඒක එහෙම නම් ඒ අරුතින් මේක සිංහල ශබ්ද කෝෂයට එක වුනාවේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා හදා ගත්තු වචනයක් වුනත්.

කෝකිල සංදේශ කවි පොතේ


සිංහල ගීත හා සංදේශ කියන මාතෘකාව දැක්ක ගමන්ම මගේ මනසේ රැව් පිළිරැව් දෙන ගීත තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අජන්තා රණසිංහ රචනා කර ප්‍රියා සූරියසේනගේ තනු සහ සංගීත නිර්මාණයෙන් අප අතරට එන “ගෙල වට බැන්දා වූ මුතු පොටේ” ගීතයේ නිරංජලා සරෝජිනීගේ ළගන්නා හඬින් අප ළය මානයන්හී රැඳී ඇති “කෝකිල සංදේශ කවි පොතේ - ඔය වැනි උපමා ද තව ඇතේ” ගීත ඛණ්ඩය.
දෙවැනි ගීත ඛණ්ඩය තමයි කරුණාරත්න අබේසේකරගේ පද රචනයෙන් තිලකසිරි ප්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් අපට දායාද වූ “එන්න මද නලේ” ගීතයේ තිලකසිරි ප්‍රනාන්දු විසින්ම ශෝකී ලය මානයකින් ගායනා කරන “සෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කලා” කියන කොටස සහ “සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ - හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ” කියන කොටස.
ඒ වගේම තුන් වැනියට රූපා ඉන්දුමතී ගයන සුනිල් ආරියරත්න පද රචනය කළ, තනුව කාගේ දැයි හරියට සොයා ගත නොහැකි වූ “දේශයෙන් දේශේ බලා” ගීතයේ, “සංදේශයක් ලියා එවමි කා අතේ සැළලිහිණියෝ, රණ හංසයො කුරුල්ලන් නැතේ” සහ “පෙම් දූතයෙක් කලා එදා මේඝයක් පවා” කියන කොටස් දෙකත් අපේ මතකයට එනවා.
සංදේශ කාව්‍ය වල වගේම වෙනත් පුරාණ පද්‍ය සාහිත්‍යයේ භාවිතා වුන රසවත් යෙදුම් මෙන්ම පද සංකලනත් අපේ ගේය පද රචකයෝ අප සියලු දෙනාගේම හදවත් සුව පත් කරන දිව ඔසුවක් වන ගීත නිර්මාණය කිරීමේ දී අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ගීත හා ඊට ආලෝකය ලැබුවා යැයි සිතන කවි එකින් එක විමසා බලමු.