Showing posts with label යු.ඒ.එස් පෙරේරා (සිරි අයියා). Show all posts
Showing posts with label යු.ඒ.එස් පෙරේරා (සිරි අයියා). Show all posts
Wednesday, June 28, 2017
දොම්පෙට යන පාර කියපියෝ
පිටිසරබද ආදි කාළයේ...
ගමයෙක් විය පරණ තාලයේ...
තරහ ගියොත් මිනිහ හරි සැරයි
බඹරේ වගේ ගමන කඩිසරයි
ගමරාළගේ පූරුවේ පවින්
කන් ඇහෙන්නේ නැතිලු දෙවියනේ
ගමයෝදිය තමයි ඒ පැලේ
වැඩ කටයුතු පිළිවෙලක් කලේ
ගමමහගෙත් බිහිරි වු කෙනෙක්
ඒක නිසයි දෙන්නා පෑහුනේ
දෙදෙනාගෙම කන ඇහෙන්නේ නෑ
ලණුවයි කණුවයි වගේ තමා
ගෙදර උන්නේ එකම තරුණියයි
ගම යුවලගේ කොමළ දියණියයි
චීත්තයක් සමග මල් රැදී
බදට කැපෙන හැට්ටයක් අදී
කරේ බැන්ද පබළු වැට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගේ ලස්සනයි
රෝස මලෙත් නටුවේ කටු තිබේ..
ඒ ළමිස්සි බිහිරි විය ඉබේ
ගමරාළගේ බිහිරි පවුලකි
එතන ගෙදර නිතර අවුලකි
පවුල බලා කිකිළි නටනවා
නටන කිකිළි කෙකර ගානවා
ගමරාළගේ කොටුව මේරුවා
ගමයා බතල ටිකක් හෑරුවා
මේ වෙළාවේ තරුණයෙක් ඇවිත්
දොම්පෙට යන පාර අහනවා
බිහිරි ගමයා බතල ගැන හිතා
ලාබට දෙනවා හිටිං පුතා
ලොක්කෝ ඔය බතල මට එපා
දොම්පෙට යන පාර කියනවා
බතල හොදට පැහිලා තියෙනවා
හාරනකල් ටිකක් හිටිනවා
මම ඇහැව්වේ පාර නොවෙද ඕයි
තමුසේ බතල කතාවක් අහයි
කෙහෙල් මලක් දන්නේ නෑ වෙනින්
ලොක්කි ඉන්නේ ගිහින් අහගනින්
දොම්පෙට යන පාර කොයිබදෝ
අම්මේ මට කියා දෙන්නකෝ
වියපු පැදුර දැන්ම දෙන්න බෑ
සායම් ටික දමා ඉවර නෑ
උඹේ උලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියපියෝ
මිළ වැඩි නෑ හරි ගජ ලාබයි
සායම නෑ දෙන්නට ලෝබයි
මේකත් මහ බිහිරි හටනයක්
උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක්
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන්
උඹවත් දැන් ඉතිං නංගියේ
දොම්පෙට යන පාර කියාපන්
තරුණෙක් මට එනවා යැයි කියා
කපුටා කීවේ මේ තමයි එයා
අම්මා අප්පා දෙන්නා කැමති නම්
කසාදයට බොහොම කැමති මං....
එච්. එම්. වී. තැටියක පටිගත කෙරුණු පළමුවන විරිඳුව වූයේ "දොම්පෙට යන පාර කොයිබදෝ" විරිඳුවයි. යූ. ඒ. එස්. පෙරේරා මහතාගේ තවත් අනර්ඝ නිර්මාණයක්
ගීතය අහන්න වැඩි විස්තර සඳහා
Saturday, June 17, 2017
මෝඩ මනමාලයා
කුඹුරු වැඩට වෙළඳාමට ගොන් දෙබානේ සී සෑමට
පොර පොල් ගැහුමටත් දැනෙන ගමක් හිටියා
ගමයා ටිකක් මේරුවාට තව කසාද බන්දලත් නෑ
දවසක් අම්මා මිනිහට කාරණා කියා
ළමයෝ සිරිමල් එතනා හද වැඩ ඇති බුහුටි කෙල්ල
හැමදාම මෙහි ඉඳීම උඹට සුදුසු නෑ
මැහුම් ගෙතුම් ඉවුම් පිහුම් පැදුරු විවුම කිරිදෙවිම
ලපටි උනත් පුරුදු නිසා කෙල්ල වටිනවා
මෙසේ කියා තම පුතාගේ සතුට ලබා දිනක්
සිරිමල් එතනාගේ පියාහට කතා කළා
සිරිමල් එතනාගේ පියා කටයුත්තට කැමතිවෙලා
බෑනගේ වගතුග බලන්න එවන්නට කිවා
රට අලගෙඩි හත අටකුයි ලඟදි කඩපු ඇටඹ ටිකයි
කොස්ගේදියක මදුළු සමහ දුන්නා අම්මා
ගෙදර එන්න සරසෙනකොට
කරුන මොකද කියා සැකයි
මාමණ්ඩිය ඉදිකටුවක් ගමයට දුන්නා
බෑනා ඉදිකටුව අතේ ගෙදර ගියා
නමුත් මිනිහා දන්නෙම නෑ මඟදී නැතිවුනා
අම්මා මේ පුවත අසා ගිණිපෙල්ලක් විලස කිපී
මොකද ළමයා සැලකිලිමත් නැත්තේ වසකැතයි
මීට පසුව ඔහොම දෙයක් කමිසේ ගසා අරන් ඇවිත්
පරිස්සමෙන් අම්මාහට බාරදිය යුතුයි
අම්මේ මට සමාවෙන්න එහෙම තමා මීට පසුව
සිරිමල් එතනාට හැබැයි කියන්නට එපා
තව දවසක් මාමන්ඩිගේ ගෙදරට ගිය බෑනා හට
එදා තෑගී ලැබුනෙ කදිම බළල් පැටියෙකුයි
මිනිහා පාරට ගොඩවී මෑණියන්ගේ බස සිහිවී
මාමා දුන්නු බළල් පැටියා කමිසේ ගැහැව්වා
බළල් පැටියා කලබලවී පපුව ටිකක් පහුරු ගාලා
අසල තිබුන බට කාලෙට ගොසින් සැඟවුනා
ඇයි මෝඩයෝ ඔහොම දෙයක් ලණු පොටකින් ගැටගහගෙන
අරන් එන්න ඔනෑ කියා මෑණියෝ කිවා
ඊට පසුව මාමණ්ඩිය ලෝබ නැතිව හිතාමතා
බැනන්ඩිට තෑගී දුන්නේ ඌරු ගාතයයි
බෑනා ටිකක් ඈත ගිහින් දිග ඇති මදු වැලක් කඩා
ඌරු ගාතේ කොනක බැඳන් බිම ඇදන් ගියා
සෑම තැනම වැලි තැවරී ගෙදර ගෙනා ඌරු ගාතේ
පලක් ගන්න නොහැකි නිසා ඇහක විසිකලා
නොදකින් උඹ නොදෝමකින් මීට පසුව දුන්නු දෙයක්
කරේ තබා අරන් එන්න ඉගෙන ගනින් දැන්
දැන් මිනිහා හොඳ පුරුදුයි මාමා ඉන්පසුව දුන්නේ
ලඟදි මුදල් වලට ගෙනා කදිම බූරුවා
මිනිහා මේ බුරුවාව කරේ තියා ගෙන යන්නට
සැරසෙනවිට කලබල වී බූරුවා ගියා
බූරුවාගේ කරට නැඟී පාර දිගේ නම්බු ඇතිව
ආවා නම් ඔන්න අනේ වැඩේ ලස්සනයි
මීට පසුව ගමපුතාට සිරිමල් එතනාගේ පියා
දියණියන්ව ගෙනත් කිව්වා මෙන්න බාරගන්
මාව නුඹට කරේ තියා ගෙන යාමට හැකිද කියා
සිරිමල් එතනාගේ ලඟට වෙලා ඇහුව්වා
මාමා හට මේක ඇසි අනේ උඹට මොන ගෑණුද
කාපන් අර රට තණකොළ කියා පැන්නුවා ....
ගායනය /පද රචනය -යු.ඒ.එස් පෙරේරා හෙවත් සිරි අයියා
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)