Wednesday, June 19, 2019

කින්නර ලන්දූ දැක හද බැන්දූ.....

ජාතක කතා ඇසුරින් ලියැවුණු ගීත



1: සඳ කිඳුරු ජාතකය



මෙම ගීත එකතුවේ සම්පුර්ණ ගෞරවය “යසනාත් සිතුවිළි” බ්ලොග් එකේ “ සඳ කිඳුරුවට බැඳුනු කවි ගීත” ලිපිය පල කළ යසනාත් ධම්මික බණ්ඩාරට හිමිය Yasanath Dhammika Bandara. ඒ පිලිබඳ දිගු විස්තර දැන ගැනීමට යසනාත් බ්ලොග් එකට  පිවිසෙන්න.

හැබැයි ඔහුගේ ලිපිය මෙම ජාතක කතාව පදනම් වූ ගීතවලට සීමා නොවී කාව්‍ය නිර්මාණ හා ඍජුව ජාතක කතාව පිළිබිඹු නොවන ගීත රැසකින් යුතු බැවින් මෙසේ ජාතක කතාවට වඩාත් කිට්ටු ගීත 15ක් ඔහුගේ ලිපිය හා ඒ වෙත යොමු වුන කමෙන්ටු වල ඇතුළත් ගීත ද ඇතුළත් කොට සැකසුනු ලැයිස්තුවකි. මෙම ගීත 15න් 7ක් ම සොයා ගත නොහැකි වූ අතර, ගීත තුනක පද රචනය හා/හෝ සංගීතය වැනි තොරතුරු ලබා ගත නොහැකි විය. එම තොරතුරුද සම්පුර්ණ කල හැකි නම් මැනවි. හුදෙක් කිඳුරු කිඳුරියන් ගැන සඳහන් වන ගීත නොව සඳ කිඳුරු ජාතකයේ ආභාසයක් ලැබූ බව පේන ඔබ දන්නා තවත් ගීත ඇත්නම් අමුණන්න.



1. දස බලධාරී බුදු රජු පෙර කළ - එස්. එල්. කැකුලාවල / ආර්. ඒ. චන්ද්‍රසේන / ආර්. ඒ. චන්ද්‍රසේන

2. සඳගිරි පවුව උසයි - රවි සිරිවර්ධන / දර්ශන වික්‍රමතුංග / ශානිකා සුමනසේකර

3. සඳ කිඳුරාමයි විද්දේ - වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල / සේනානායක වේරලියද්ද / සේනානායක වේරලියද්ද

4. චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින් - උබේනන්ද දිසානායක / රෝහණ වීරසිංහ / කරුණාරත්න දිවුල්ගනේ

5. ළසොවින් හඬන්නී - සුනිල් ආරියරත්න / මොහන් රාජ් / නන්දා මාලිනිය

6. චන්දගිරි පවු මස්ථකේ ඔබ - පද රචනය? / සංගීතය ? / කරුණාරත්න දිවුල්ගනේ

7. සඳ ගිරි පව්ව කොහේදෝ - රත්න ශ්‍රී විජේසිංහ / ප්‍රේමසිරි කේමදාස / ප්‍රදීපා ධර්මදාස.

8. නොලැබ නුඹෙ සෙනේ - යසනාත් ධම්මික බණ්ඩාර / රෝහණ වීරසිංහ / ඉමාන් පෙරේරා

9. හීසර වැදුණු පසුව - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / මාලිනී බුලත්සිංහල

10. සඳ කිඳුරා මිය ගියා - රත්න ශ්‍රී විජේසිංහ / විශාරද ගුණදාස කපුගේ / ජානක වික්‍රමසිංහ

11. සඳගල නුවර එන්න - පදරචනය ? / කරුණාරත්න විජේවර්ධන / සුනිල් එදිරිසිංහ

12. හඬන කින්නරී සිරවී - කුමාර ලියනගේ / ප්‍රේමසිරි කේමදාස / මිථිලා ඉලේසිංහ

13. සඳ කිඳුරු ලිය නුඹ - යසනාත් ධම්මික බණ්ඩාර / රෝහණ වීරසිංහ / කිත්සිරි ජයසේකර සහ හේමන්ති රණසිංහ

14. නිදි දැහැනේ සුවැති - යසනාත් ධම්මික බණ්ඩාර / නවරත්න ගමගේ / රොඩ්නි වර්ණකුල

15. කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ - කුමාර හෙට්ටිආරච්චිගේ / ඔස්ටින් මුණසිංහ / නන්දා මාලනිය

16. සඳ කිඳුරිය නම් වෙන්නට බෑ මට - පද රචනය ? / සංගීතය ? / සශිකා නිසංසලා

17.නිල් වන ලන්දේ මල් මකරන්දේ - අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී

-------------------------------------------------------------------------

1.
දස බලධාරී බුදු රජු පෙර කළ

දස බලධාරී බුදු රජු පෙර කළ

ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//

වසනා සඳෙහී කිඳුරඟ සමඟා

වනයේ තුටිනා ප්‍රේමය පාලා//

දස බලධාරී....

කර ආලේ රාජා ඒ බරණැස හී කිඳුරීටා//

මැරුවෝ බෝසත් විද හී පහරා//

බෝසතුගේ ප්‍රාණය ඒ සක් දෙවිඳාණෝ දානය කෙරුවෝ//

දස බලධාරී බුදු රජු පෙර කළ ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා//

වසනා සඳෙහී කිඳුරඟ සමගා වනයේ තුටිනා ප්‍රේමය පාලා//

දස බලධාරී....

පද රචනය: එස්. එල්. කැකුලාවල

සංගීතය හා ගායනය: ආර් ඒ චන්ද්‍රසේන



-------------------------------------------------------------------------

2.
සඳගිරි පවුව උසයි

සඳගිරි පවුව උසයි

කිඳුරා හරිම වසයි

මම ගෙදර එන්න ආවා අම්මේ

දොර අරින්න නුඹ විතරයි ඉන්නේ

රත්තරන් කියා කඩු තුඩ -

මම ඇනගත්තේ පපුවට

නුඹ එපා කියද්දීමයි අම්මේ -

ඒ කුලගෙය දැන් ගිනිගෙය වැන්නේ

සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර

මට අරුමෝසම් හුරු නෑ අම්මේ

නියපහුරු වැදුණු හිත බලපන්නේ

පද රචනය: රවි සිරිවර්ධන

සංගීතය: දර්ශන වික්‍රමතුංග

ගායනය: ශානිකා සුමනසේකර



-------------------------------------------------------------------------

3.
සඳ කිඳුරාමයි විද්දේ

සඳ කිඳුරාමයි විද්දේ //

නුඹ නොදැක්කාට කිඳුරී

හීසර වැද පපු මැද්දේ

හිත රිදෙනවාද සොඳුරී

කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ

කොඳුරා ප්‍රේම බස් විස හීයෙන් විද්දේ //

මධුරා පුරෙන් දෝ දුක් ගිනි අරගත්තේ

ඉඳුරා දනිම් සඳ කිඳුරාමයි විද්දේ //

සඳ කිඳුරාමයි විද්දේ...

ගව් ගණන් ඇවිත් අත්වැලවත් නො සැලී

හිත් වුනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී //

කප්පරක් තරම් ඉඳි වුණු කඳුළු පොදී

කින්නරා අත ගන්න නුඹ පින් කළා මදි //

සඳ කිඳුරාමයි විද්දේ...

පද රචනය: වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල

සංගීතය හා ගායනය: සේනානායක වේරලියැද්ද



-------------------------------------------------------------------------

4.
චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

නුඹ පෙම් බැඳන් මට ළංවුනා

පෙම් බැඳන් ආ කින්නරාවී

මගෙ ළඟින් හිඳ වෙන්වුණා...

ගෙට එන්ට පෙර කළ කී කතා

උඩුගං බලා ගියෙදෝ මෙදා

විස හී සරේ පපුවට හෙලා

නුඹ නාටකේ වෙනසක් කළා

පද රචනය: උබේනන්ද දිසානායක

සංගීතය: රෝහණ වීරසිංහය

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ



-------------------------------------------------------------------------

5.
ළසොවින් හඬන්නී

ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී

සඳ ගිරි හිසේ - කිඳුරියද මේ

සෝකෙන් වළප්නා - තනි වී වනේ

ගන වන තලාවේ දඩයම් සොයා ආ

නුවරුන් තනාලූ උගුලේ වැටී

කිඳුරිය තැවෙන්නේ ප්‍රාණය යදින්නේ

හැවිලි හවමින් වනේ වරල සිඳිමින් හිස්

ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී

දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් පා

මිහිරෙන් උදම් වූ ලිය ගී ගයා

වන ලිය පෙනෙන්නේ නුවරුන් සොයන්නේ

අසනි වර්ෂා වැටේ දෙරණ ගින්නනේන දැවේ

ළසොවින් හඬන්නී - හඬමින් තැවෙන්නී

පද රචනය: සුනිල් ආරියරත්න

සංගීතය: මොහන් රාජ්

ගායනය: නන්දා මාලිනිය



-------------------------------------------------------------------------

6.
සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ

සඳ කිඳුරා මිය ගියා - ගමට එන්න නංගියේ

පසලොස්වක පෝය දා - අවසන් කටයුතු කළා....

ගමේ නාඩගංපොළේ - කිඳුරිය වී නුඹ එදා

ගැයු ලිය ගී විකුණන්ට කොළොම් තොටට ඉගිළුනා

කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා

ඇඬුවා නුඹ ගැන කියා......

වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා

තනිව හිටිය කින්නරා - ළය දැදුරුව මිය ගියා

කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා

ඇහේ කඳුළු නැති නිසා.......

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය: විශාරද ගුණදාස කපුගේ

ගායනය: ජානක වික්‍රමසිංහ



-------------------------------------------------------------------------

7.
සඳ ගිරි පව්ව කොහේදෝ

සඳ ගිරි පව්ව කොහේදෝ - මගෙ සඳ කිඳුරු කොහේදෝ

මට කියන්න කියන්න මා වැන්දඹු වුණ චන්ද කින්නරී.

අප ගෙයින් ගෙයට යන ගමනේ

කුලී ගෙයක නැවතී

කවි -සිංදු කියා අතපෑවේ

සාගින්දර ඇවිලී

මහ රෑ කළුවර නුඹ කොහි ගෙන ගියාද

හිමි සඳුනේ....

නිල් වනන්තරෙත් ගිනි ගනීවී

සුසුම් වලින් ඇවිලී

නිල් අනෝතප්ත විල සිඳේවී

දුම් දමලා උණුවී

මගෙ සඳ කිඳුරු මටම දෙන්න

පින් ඇති වන සතුනේ

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ.

සංගීතය: ප්‍රේමසිරි කේමදාස.

ගායනය: ප්‍රදීපා ධර්මදාස.

ගීතය සොයා ගත නොහැක

-------------------------------------------------------------------------

8.
නොලැබ නුඹෙ සෙනේ

නොලැබ නුඹෙ සෙනේ දිවි දිය කිඳුරා මියැදුනා

දැන් කඳුළු වලින් පළක් වේද කින්නරාවියේ

කින්නරාවියේ

නිල් නෙත්ද අනෝතත්ත විලද

ඔය ගලා හැලෙන්නේ කඳුළුද ආදරයද

ආදරය වුණත් පළක් වේද කින්නරාවියේ

කින්නරාවියේ

සිත් මල ද මලේ සුවඳ පොද ද

ඔය උතුරා යන්නේ සුසුම් ද ආදරය ද

ආදරය වුණත් පළක් වේද කින්නරාවියේ

කින්නරාවියේ

පද රචනය: යසනාත් ධම්මික බණ්ඩාර

සංගීතය: රෝහණ වීරසිංහ

ගායනය: ඉමාන් පෙරේරා



-------------------------------------------------------------------------

9.
හීසර වැදුණු පසුව නෑ රඟමඬල උරු

හීසර වැදුණු පසුව නෑ රඟමඬල උරුම

කිඳුරු කුමාරියනී මට යන්න අවසරයි

මේ රජ ඇඳුම් වලට මා අස්වසනු හැකිද

කිඳුරු කුමරුවාණනි මං තවම ඔබගෙමයි

මල් පෙති බැන්ද ගෙලට රන් දම් පළඳවන්න

අග නගරයට එන්න ඔබට අතවනයි

සඳගිරි පවුව මිසක නුහුරුයි ඈත නුවර

නුපුරුදු දෙපා බියෙන් සැලී පටලැවෙයි

කමතේ අඳුර අතැර එන්නැයි සුපිරි ලොවට

කැමරා විදිලි බුබුළු ඔබට අතවනයි

හී තල වලට මිසක බිය නෑ කාසි වලට

නිලියක නොවේ මෙමා තවම කිඳුරියයි

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය: ගුණදාස කපුගේ

ගායනය: මාලිනී බුලත්සිංහල

ගීතය සොයා ගත නොහැක

-------------------------------------------------------------------------

10.
චන්දගිරි පවු මස්ථකේ ඔබ

චන්දගිරි පවු මස්ථකේ ඔබ

කිඳුරියද ජාකත පොතේ

එවා මල් දුනු හී සරේ

ඔබ කැළඹුවා හද මන්දිරේ

කිමිදෙමින් සිතු සාගරේ ඔබ පැතුම් වෙරලට ආ දිනේ

චන්ඩ කේතකි සල් වනේ ඔබ සැඟවුණාදෝ මිහිරියේ

පද රචනය: ???

සංගීතය: ???

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

ගීතය සොයා ගත නොහැක

-------------------------------------------------------------------------

11.
සඳගල නුවර එන්න

සඳගල නුවර එන්න

අවසර වරම් දෙන්න

රෑ සඳ වෙලා ඉන්න

නුඹ එනවද කියන්න

කින්නරාවියේ

සඳදිය ඉවුරු සිඹින

ගඟබඩ තුරු සෙවණක

හිත උණුහුම් කරන්න

හදවත ළගින් ඉන්න

නුඹ එනවද කියන්න

කින්නරාවියේ

අත්වැල් බැඳන් එකට

පියවර මැන යන්නට

කින්නර දා වත යළි

නුඹෙ නාමෙන් ලියන්න

නුඹ එනවද කියන්න

කින්නරාවියේ

පද රචනය: අනුරාධ ජයසේන

සංගීතය - කරුණාරත්න විජේවර්ධන

ගායනය - සුනිල් එදිරිසිංහ



-------------------------------------------------------------------------

12.
හඬන කින්නරී සිරවී

හඬන කින්නරී - සිරවී

චන්ද කින්නරී

සේල වැඩපලේ - සිරවී

හඬන කින්නරී....

සඳගිරි පවුවෙන් බැස නුවරක ඇවිදිල්ලා

දෝත නළල කැන්දා රන් සළුව වියනවා

ගලන කඳුළු කින්නර දෙනුවන් නැහැවෙනවා.

ඇසී නාද හඬ රන්කාසියෙ වෙහෙසීලා

ආල වී සිතින් නිම් නැති සිහින දකිනවා

ගලන කඳුළු කින්නර දෙනුවන් නැහැවෙනවා

පද රචනය: කුමාර ලියනගේ

සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය: මිථිලා ඉලේසිංහ

ගීතය සොයා ගත නොහැක

-------------------------------------------------------------------------

13.
සඳ කිඳුරු ලිය නුඹ

සඳ කිඳුරු ලිය නුඹ

සඳ කිඳුරාණ නුඹ

අහිමි වූ - අහිමු වූ

පුන් සද වත අහිමි වූ

සඳ කිඳුරු ලිය නුඹ

මේ ගං දෑලවර

මල් - මල් උයන්තෙර

සිසිල අහිමිව වැලපෙනා

සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

මේ නිල් වියන යට

නිල් විල් දියඹ මත

නිල්ල අහිමිව වැලපෙනා

සඳ කිඳුරු ලිය නුඹ - සඳ කිඳුරාණ නුඹ

පද රචනය: යසනාත් ධම්මික බණ්ඩාර

සංගීතය: රෝහණ වීරසිංහ

ගැයුම: කිත්සිරි ජයසේකර/හේමන්ති රණසිංහ



-------------------------------------------------------------------------

14.
නිදි දැහැනේ සුවැති

නිදි දැහැනේ සුවැති දසුන් දකින වංගියේ

ඒ සිහිනෙන් නුඹ ඇහැරවන්න

දුකයි නංගියේ

අනුරාග හිතක් නැති බමරුන්

රුවැති මල් වටේ රඟ දෙන

මලට හෝ රොණට ලොබ බැඳ

මලට කිසි දුකක් නොම දෙන

ඒ සිහිනය හරි සුවදායකයි නංගියේ

ඇස් හැරියම - ඒ සිහිනය - කළුවරයි නංගියේ

මනමාල කමක් නැති නිරිඳුන්

කිඳුරු කොදෙව්වට ඉගිලෙන

කිඳුරිගේ රුවින් උමතුව

කිඳුරු දඩයමට නොහිතන

ඒ සිහිනය හරි සුවදායකයි නංගියේ

ඇස් හැරියම - ඒ සිහිනය - කළුවරයි නංගියේ

පද රචනය: යසනාත් ධම්මික බණ්ඩාර

සංගීතය: නවරත්න ගමගේ

ගායනය: රොඩ්නි වර්ණකුල

ගීතය සොයා ගත නොහැක

-------------------------------------------------------------------------

15.
 කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ

කිඳුරා නඟින්නේ බසයට බොරැල්ලේ

මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ

දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ

කිඳුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ

සිප බඳ කොමලතින් ලුණු කැඳ පොවා පියා

සැප නැති බදු ගේක වකුටුව නිදා පියා

ලප සඳ මහිමි ගිනි පොලියෙන් මුදා පියා

පඩිපත කෑ තොපට හෙණ හතය පා පියා

බලසම්පන්න දෙවියොත් පඩි නොලබාද

හිඟමන් සදිසි පඩිපත දැක උණුවේද

සුපසන් මහිමිගේ ඉහ ගිනි දුටුවාද

මටවන් මෙදුක තගෙ අඹුවට නොවදීද

දරුවන් උදේ අකුරට නොයති ද ඉතිනේ

පවසින් සයින් නැගි ගිනි දළු ඉහ මුදුනේ

ගසකින් කඩන කහවණු හීනෙන් පෙනුණේ

ඉතිකින් කෙලෙස වෑවෙම්දෝ හිමි සඳිනේ

පද රචනය: කුමාර හෙට්ටිආරච්චිගේ

ගායනය: නන්දා මාලනිය

සංගීතය: ඔස්ටින් මුණසිංහ



-------------------------------------------------------------------------

16.
සඳ කිඳුරිය නම් වෙන්නට බෑ මට

සඳ කිඳුරිය නම්

වෙන්නට බෑ මට

ඔබ දන්නවාද හිමාලයේ

වතුරේ සීතල

මට සමාවෙන්න කිදුරෝ

සඳ කිඳුරිය නොවුනට //

පුළිනතලා නෑගම් වූ

දිය ඇලි පාමුල

වැළි ගොඩදාලා හැමතැනකම

රන් කහවනු වට

ලිය ගී මොකටද සඳ කිඳුරෝ

බෑ විකුණන්නට //

වස්කුළල් හඩට පය පැකිලෙයි

නටන්න බෑ මට

බරනැස් නිරිඳුට විවේක නෑ

වෙන දඩයමකට

සඳ කිදුරෝ දැන් පුරුදුවෙන්න

තනියම ඉන්නට //

පද රචනය: ??

සංගීතය: ??

ගායනය: සශිකා නිසංසලා



-------------------------------------------------------------------------

17.
නිල් වන ලන්දේ මල් මකරන්දේ

නිල් වන ලන්දේ මල් මකරන්දේ

අසිරි හිමව් පෙත හොබවමිනා

කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ

නුරා මුකුලු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ

ආලමතින් මන්තොස වඩනා

ගිරිකුළු උරමඩලින්ද

තෙදබල නෙතු කැල්මෙන්ද

නුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද

රෑන වලා මුහුලින්ද

දියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ

නේක තැවුල් හද සින්දේ

පෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා

පියොයුරු වටකුරු ලීලා

සැනහෙමු පෙම් සිතුලෝලා

වන අරණේ

පද රචනය: අජන්තා රණසිංහ

සංගීතය: සරත් දසනායක

ගායනය: වික්ටර් රත්නායක - නන්දා මාලිනී



-------------------------------------------------------------------------

මෙය චිරාන් වින්ස්ඩර් මහතා සම්පාදනය කල ලිපියකි

No comments:

Post a Comment