Friday, June 16, 2017

සුබ උදෑසනක් ......( 1 කොටස )



1. අද ඉපැදුනු නැවුම් ලොවට


අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න


උපන් බිළිඳු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී

දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී


සහසක් බුදු වදන් නිතර
නැළවිලි ගීයෙන් ගයතී
සිරිදළදා හිමි සරණින්
පිහිට ලබා නිදුක් වෙතී

උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට
සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ



2. අරුණ උදාවයි දිනිඳු සිනාසෙයි

අරුණ උදාවයි දිනිඳු සිනාසෙයි
කන්ද උඩින් ලන්ද මතින් අරුණ උදා වෙයි

කන්දෙන් බැස නිල්ල දිගේ දිනිදු සිනාසේ
නිල්වන් නිල් ළපලු ආදී දිලෙන ලතාවයි
මල් රැහැනින් ඉසුරු පිපි සතුට සිනාසෙයි

අරුණ උදාවයි...

හෙළ දරුවන් නිදන බිමේ ඉසුරු නිධානයි
රන්වන් රන් කරල් පැහී සැපත සදාලයි
අරුණ උදාවයි...

පද රචනය: ඩබ්. ඒ. අබේසිංහ
සංගීතය හා ගායනය: අමරා රණතුංග


3. අරුණා ලෝකය අතරේ

අරුණා ලෝකය අතරේ
අද නව ලෝකය ඉදිවේ
තෙරුවන් සරණින් දෙවි රැකවරණින්
ජයගොස දස දෙස පැතිරේ

මනු ලොව මිනිසත් බව ලැබ ගන්නේ
හදගැබ නොමිනිස් ගති දුරලන්නයි
සිරුරේ ලෝහිත ගඟක් ගලන්නේ
ජීවිතයේ දිගු විජය ලබන්නයි

ලොව විනිවිද යන නැණැස් ලබන්නේ
සඳ නොව තරු ලොව හිරු ජය ගන්නයි
සොඳුරු මහරු පොළවක උපදින්නේ
ඒ පොළවෙන් මුළු ලොව ජය ගන්නයි

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: නන්දා මාලනී


4. අරුණු වළා පෙළ නැගෙනු බලා

අරුණු වළා පෙළ නැගෙනු බලා
රණඹර අවදි වෙලා
කිරණ සලා මිහිමඬල දොවා
සූරිය මල පිපිලා //

ගලා හැලේ මේ උදේ සිතෙන් සිත
පහන් හැඟුම් පිරිලා
පොළෝ තලේ සත් පියුම් ලෙසින් ඇත
මිනිස් මහිම පිපිලා

අරුණු වළා පෙළ නැගෙනු බලා...
දොරින් දොරට සුබ පැතුම් පුදා යන
සිහිල් නළින් සැරසී
පහන් දොරින් හිරු එබී බලා
නව ලොවෙන් සිනා අයදී

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: අමරසිරි පීරිස්


5. අවදිවන්න අවදිවන්න

අවදිවන්න අවදිවන්න දීප්තිමත්
දිනකි උදා වෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ //

සුසුම් හෙළන කලට දුක් වෙලා
ඔබත් සමග කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ
අවදි වන්න අවදි වන්න...

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ //
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලැබ ගන්නේ
අවදි වන්න අවදි වන්න...

දුක සැප දෙක පෙරළි පෙරළි යයි
යන කාලය නැත නවතින්නේ //
ඊයෙ වගෙද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ
අවදි වන්න අවදි වන්න...

පද රචනය: කරුණාරත්න අබේසේකර
තනු නිර්මාණය: සී. ටී. ප්‍රනාන්දු ?
සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
ගායනය: සී. ටී. ප්‍රනාන්දු


6. අවදි වන්න පුත දෙනෙත් හරිනු පුත

අවදි වන්න පුත දෙනෙත් හරිනු පුත
නව හිරු පායන්නේ
නැවුම් පොළොව මත නැවුම් සුවඳමය
ඔබෙ නැහැයට එන්නේ //

පෙර රජ දවසේ උරුමය රැක ගෙන
නැවත උපන් පොළොවේ //
වෙහෙසෙන් පුතණුව
මේ රැක (?) ගන්නට
මතු වන බල මහිමේ //
අවදි වන්න පුත....

දෙදහස් වසරක් හිරු සඳු පසු කර
උදා වුනේ පුතුණේ //
නව නිපැයුම් පිරි නව යුගයක්මය
උදාර වූ පොළොවේ //
අවදි වන්න පුත....

නව ලොව පුතු හට උරුම කරන්නට
නව සම්පත් මතුවේ //
දිය උල්පත් රන් දිය ගලනා මේ (?)
පොළොව ඔබෙයි පුතුණේ //

පද රචනය: ලලිත් කරුණාරත්න
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: පුණ්‍යා කත්‍රිආරච්චි


7. නිදිකුම්බා නිදි දැහැන බිඳෙනවා

නිදිකුම්බා නිදි දැහැන බිඳෙනවා
කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා
අලුත් දවසකට බඹරු නටනවා
බලන් උදා හිරු දොරට වඩිනවා //

නිදි යහනට ඔබ ගිය විට ඊයේ
කවුරු ද හිරු සැතපුණු බව කීවේ
ලොවේ අඩක් එලි කොට රෑ ඊයේ
නො නිදන මෙහෙයට යළි මෙහි ආයේ
නිදිකුම්බා නිදි දැහැන බිඳෙනවා...

නෙත යට සැඟවුණු සිහිනයක් නොවේ
පියවි නෙතින් දුටු ලෝකය එය වේ //
සුරිය ආරාධනා ඔබට වේ
සබඳ බලන් ලොව දිවි රේඛාවේ
නිදිකුම්බා නිදි දැහැන බිඳෙනවා...

පද රචනය: රණසිංහ ප්‍රේමදාස
සංගීතය: සරත් දසනායක
ගායනය: චන්ද්‍රිකා සිරිවර්ධන


8. සුබ උදෑසනක් වේවා -

ඔබට සුබ උදෑසනක් වේවා
අළුත් ඉරක් පායයි අද අහසේ
අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ
සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා

ගුණ නුවණින් මුළු දවස ගෙවන්නට
මොහොතක් හෝ අපතේ නො යවන්නට
සිත කය වෙහෙසා වැඩෙහි යෙදෙන්නට
සැරසෙමු අද දින සරු කර ගන්නට

රටට දැයට මෙහෙයක් සලසන්නට
මිනිස් වගට සැනසීමක් දෙන්නට
දිරියෙන් සවියෙන් බල ලැබ ගන්නට
ඉටා  ගනිමු අද සතුටින් ඉන්නට
සුබ උදෑසනක් වේවා...

සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා
සුබ උදෑසනක් වේවා ////

පද රචනය: පයස් ප්‍රනාන්දු
සංගීතය හා ගායනය: අයිවෝ ඩෙනිස්


9. වටින් පිටින් එලිය වැටෙනවා

සිහිල් සුලං ‍රැලි විසිරෙනවා
සියොතුන් අතු අග හඬ දෙනවා
අපේ ගමට හිරු පායනවා..
වටින් පිටින් එලිය වැටෙනවා
සිහිල් සුලං ‍රැලි විසිරෙනවා

බලන බලන අත සුදු මීදුම නැත
සීතල පිණි බිඳු බිමට වැටේ
උපමාවක් කියතොත් මේ ගීතෙන්
සුදු පාවඩ බිම එලුව වගේ

දොරට පිලට පොඩී රාලගේ හිත
කුඹුර දිහාවට ඉබේ ඇදේ..
කලු එතනා කලබලේම වේගෙන්
දොවාගත්තු කිරි කලේ ගෙනේ

වටින් පිටින් එලිය වැටෙනවා
සිහිල් සුලං ‍රැලි විසිරෙනවා
සියොතුන් අතු අග හඬ දෙනවා
අපේ ගමට හිරු පායනවා..

පද රචනය: ?
සංගීතය: ?
ගායනය: චිත්‍රා සෝමපාල සහ පී. එල්. ඒ. සෝමපාල


10. අතීතයේ කළු වලාකුළෙන්

අතීතයේ කළු වලාකුළෙන්
හිරු වැසී තියේ හිරු නැගී වරෙන්
අනාගතේ මල් පිපී වරෙන්
මල් පිපී වරෙන් ////....//

සුදු වලා ගැබේ හිරු ඔපේ ඔපේ
අප නවෝදයේ මල් පිපේ පිපේ //
හැම දෙනා වගේ එක කුලේ කුලේ
ජය අනාගතේ මත ඇඳේ ඇඳේ (?) //

අතීතයේ කළු වලාකුළෙන්..

පෙනේ සුමුදු මුදු සිනා සිනා
දිනේ හෙටක් කිරි අනා අනා
ඔබේ උපන් දින තනා තනා
හෙටක් ලැබේ පැණි උරා උරා
අතීතයේ කළු වලාකුළෙන්..

පද රචනය: ?
සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: නාලිනී රණසිංහ


11. අරුන්දතී තාරකාව සේ දිලී දිලී

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී විදා බලා නොව මැළී මැළී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා....එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී…

මල්සර උක් දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා....රැස් විහිදයි
නිවහල් ලොවකට මංපෙත පාදයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී…

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: වික්ටර් රත්නායක


12. නිවන මසිත නිවන දකින

නිවන මසිත නිවන දකින
නුවන අවදි වන අලුයම
නවම ලොවක තතු පැවසෙන
දිනක් උදාවෙයි...

රනින් කිරණ රන් කැළුමින්
ගිරි කඳු රැල්ලේ
අලුත් ඉරක් පායනවා
නව අරුණැල්ලේ..

ගජබා මහසෙන් ගැමුණු
රණවිරු කැළ මැවූ අතීතේ
මට කුමටද මම උපදිමි
අදින් පසුව නැවුම් ප්‍රභාතේ

ජනරජ රන කිරුළු පැළඳ
ජන හිත නිදහසින් පිබිද
රටක් දැයක් කියා දෙයක්
ඇති බව හඟිනා මොහොතේ...

ගරා වැටුණු නටඹුන් මැද
ගොඩ නංවන අලුත් නගරයේ
දහසක් සිතිවිලි පිළිසිඳි මගේ
මනස නැමති පුරවරේ

හෙල දද කුඹු ගස මුදුනට
ඉහලමි නිදහසින් පිබිද
මටත් රටක් කියා දෙයක්
ඇති බව සිතනා මොහොතේ....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : වික්ටර් රත්නායක

13. කහවන් ගොයමට රන්දිය වැහැලා

කහවන් ගොයමට රන්දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවනැලි වැඩියෙන් කළු වී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා... ගුවන වෙලා.. //
දුර අහසේ නොපෙනී යනවා //
කවියක් ගීයට හැරුණ කලක් දෝ... //
ඉපනැලි නලියනවා....//

මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රඟදෙනවා
එක දෙක දිය රැළි හුලඟට කැඩි කැඩි
සුදු කිරි මතුවෙනවා
මුතු අමුණා.... ගී මුමුණා..... //
දුර වෙරළට රැළි ඇද්දෙනවා...//
මින්නේරිය වැව පට සළු ඇඳ ගෙන//
ඔන්චිලි පැද්දෙනවා...//

මහසෙන් රජ වැඳ නින්දට යන්නට
පෙර යම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත් බිම් සරු කොට
හිනෑහී සැරසෙනවා
යල වපුරා මහ වපුරා....//
ගොයමට දිය රැළි නංවනවා...//
මින්නේරිය වැව හෙට හී කවියේ //
උදයට ලං වෙනවා...//

පද රචනය: මර්සලීන් ජය‍කොඩි පියතුමා
තනුව සහ සංගීතය: පී. ඩන්ස්ටන් ද සිල්වා
ගායනය: නාලිනී රණසිංහ

14. බලන්න අරුණ සමග ලොවට පිපෙන

බලන්න...
බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න //

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා
මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න බඹර තුඩක මලක රහස

බලන්න…

කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ
එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්න මොටද නොතිර ලොවක රහස
බලන්න…

පද රචනය: ?
සංගීතය: ?
ගායනය: විජය කුමාරතුංග


15. රත්තරන් සදක් පායන්නයි

රත්තරං සඳක් පායන්නයි
රත්තරං ඉරක් පායන්නයි
ජීවිතේ නඳුන් උයනේ
සැනසෙන්න බී මල් පැණී
සුභ දවසක් වේවා
සම්පත් පෑදේවා...

නීල මල් කැළුම් තරු පොකුරේ
නෙත් සිනා නඟන්නේ
සෝක දුක් තැවුල් සංකාවෝ
සුළඟ සේ ඇදෙන්නේ
උදාසනේ මලක් වගේ
පිපේ පැතුම් ලෝකයේ...

මීදුමක්‌ මැදින් අරුණෝදේ
සීතලේ වෙළී හිරු පීදේ
කාලයේ සිතුම් අතරේ
සැනසෙන්න ඕනෑ තරම්
සුභ දවසක් වේවා
සම්පත් පෑදේවා...

සිහිනයක් ලෙසින් රෑ එළියේ
සතුට එයි සොයාලා
කාලයක් ළඟින් හිඳ සැනසේ
නෑසු ගී කියාලා
සිතූ සැණින් නොදන්වමින්
පියාඹාවී ආ සැණින්...

කුමටදෝ දුකින් ලත වෙන්නේ
එළිය අඳුරෙනුයි හමු වන්නේ
කාලයේ සිතුම් අතරින්
සැනසිල්ල ඒ හිනැහිහී
සුභ දවසක් වේවා
සම්පත් පෑදේවා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය : එච්. ආර්. ජෝතිපාල

චිත්‍රපටිය : දහකින් එකෙක් (1973)
නිෂ්පාධනය සහ අධ්‍යක්‍ෂණය : මෙරිල් ඇල්බට්


---------------------------------------------------------------
ගීත සියල්ල ඉදිරිපත්කලේ මෙතැනින් .....

ප.ලි
මෙහි අප පළකරන්නේ අපේ මුහුණු පොතේ ගීත පිටුවෙහි පලවන වටිනා ගීත නැවත සොයා ගැනීමේ පහසුව පිණිසය .

No comments:

Post a Comment