සිංහල ගීත හා සංදේශ කියන මාතෘකාව දැක්ක ගමන්ම මගේ මනසේ රැව් පිළිරැව් දෙන ගීත තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අජන්තා රණසිංහ රචනා කර ප්‍රියා සූරියසේනගේ තනු සහ සංගීත නිර්මාණයෙන් අප අතරට එන “ගෙල වට බැන්දා වූ මුතු පොටේ” ගීතයේ නිරංජලා සරෝජිනීගේ ළගන්නා හඬින් අප ළය මානයන්හී රැඳී ඇති “කෝකිල සංදේශ කවි පොතේ - ඔය වැනි උපමා ද තව ඇතේ” ගීත ඛණ්ඩය.
දෙවැනි ගීත ඛණ්ඩය තමයි කරුණාරත්න අබේසේකරගේ පද රචනයෙන් තිලකසිරි ප්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් අපට දායාද වූ “එන්න මද නලේ” ගීතයේ තිලකසිරි ප්‍රනාන්දු විසින්ම ශෝකී ලය මානයකින් ගායනා කරන “සෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කලා” කියන කොටස සහ “සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ - හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ” කියන කොටස.
ඒ වගේම තුන් වැනියට රූපා ඉන්දුමතී ගයන සුනිල් ආරියරත්න පද රචනය කළ, තනුව කාගේ දැයි හරියට සොයා ගත නොහැකි වූ “දේශයෙන් දේශේ බලා” ගීතයේ, “සංදේශයක් ලියා එවමි කා අතේ සැළලිහිණියෝ, රණ හංසයො කුරුල්ලන් නැතේ” සහ “පෙම් දූතයෙක් කලා එදා මේඝයක් පවා” කියන කොටස් දෙකත් අපේ මතකයට එනවා.
සංදේශ කාව්‍ය වල වගේම වෙනත් පුරාණ පද්‍ය සාහිත්‍යයේ භාවිතා වුන රසවත් යෙදුම් මෙන්ම පද සංකලනත් අපේ ගේය පද රචකයෝ අප සියලු දෙනාගේම හදවත් සුව පත් කරන දිව ඔසුවක් වන ගීත නිර්මාණය කිරීමේ දී අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ගීත හා ඊට ආලෝකය ලැබුවා යැයි සිතන කවි එකින් එක විමසා බලමු.
--------------------------------------------------------------------------------------------------------------
සිංහල ගීත මත දිලිසෙන සංදේශ ඇතුළු පුරාණ පද්‍ය සාහිත්‍යයේ කවිවල ආලෝකය
1
1. ගීතය: රණඹර ඉඳු දුණු සිතුවම් වෙලා - කේ.ඩී. කේ. ධර්මවර්ධන / වික්ටර් රත්නායක / මිල්ටන් මල්ලවාරච්චි 4
1. කවි: “උර රන් බෙයද මඬලෙන්” කව්සිළුමිණ - පණ්ඩිත පැරකුම්බා රජ - 253 කවිය / කෝකිල සංදේශය - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි - 127 කවිය / ගිරා සංදේශය 23 / ගුත්තිල කාව්‍යය 271 / කහකුරුළු සන්දේශය 123 5
2. ගීතය: දෙඅදර විලිකුන් සුරත් පලේ - කේ. ඩී. කේ. ධර්මවර්ධන / වික්ටර් රත්නායක / මිල්ටන් මල්ලවාරච්චි 6
2. කවිය: “විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” - සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 48 වන කවිය 7
3. ගීතය: පුෂ්ප මකරන්දය මාගේ - ශ‍්‍රී නිහාල් ජයසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න / නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක / සිහින හතක් 7
3. කවිය: “කෙවිලඟනක තුරුල්ලේ” - කෝකිල සංදේශයේ - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි - 82 වන කවිය 8
4. ගීතය: තුට කළ ලෙවන් - ඇළපාත මුදලි - දයානන්ද ගුණවර්ධන / රෝහණ බැද්දගේ / ජයසිරි චන්ද්‍රජිත් - එඩ්වඩ් ජයකොඩි / ගජමන් පුවත 8
4. ගද්‍ය / කවිය: “තුටු කළ ලෙවන් නෙත්” ජානකීහරණය / ගිරා සංදේශය - කෝට්ටේ විහාරයක හිමි නමක් - 214 9
5. ගීතය: නිවන් පුරට මඟ පෙන්වන - ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස / පණ්ඩිත් අමරදේව / පූජිතයෝ 9
5. කවිය: “මනහර නා මණෙවිය හිඳ ළවැලි පිට” - සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 45 වන කවිය 10
6. ගීතය: රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා - වෑත්තෑවේ හිමි - ගුත්තිල කාව්‍යය / සුසිල් ප්‍රේමරත්න / සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල 10
6. කවි: “රූ රැ සේ අදිනා ලෙසේ” - ගුත්තිල කාව්‍යය - වැත්තෑවේ හිමි - 309, 310, සහ 311 කවි 10
7. ගීතය: සිරි පොද වැස්සේ රාත්‍රියේ - සුනිල් ආරියරත්න / සරත් බාලසූරිය / නන්දා මාලනී 11
7. කවිය: “රැගත් සුරා පිරූ විතින්” ගුත්තිල කාව්‍ය - වැත්තෑවේ හිමි - උදේනි පුර වැණුම් - 122 කවිය ? 11
8. ගීතය: ප්‍රේමයෙන් මන රංජිතවේ - එදිරිවීර සරත්චන්ද්‍ර / ජයන්ත අරවින්ද / බෙන් සිරිමාන්න සහ ට්‍රිලීශියා ගුණවර්ධන / මනමේ 12
8. කවිය: “නද බමරන පිපි තඹරන” - කාව්යශේඛරය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - සිව්වන සග - 15 වන සහ 16 වන කවි 13
9. ගීතය: සුරරද සමන් සමගින් සුරඟන එවර - තොටගමුවේ ශ්රී රාහුල හිමි - සැළලිහිණි සංදේශය / ඩබ්ලිව්. ඩී. අමරදේව / ඩබ්ලිව්. ඩී. අමරදේව 13
9. කවි: “සුරරද සමන් සමගින් සුරඟන එවර” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 8, 13, 16, 25, 38, 45, 53 කවි 14
10. ගීතය: කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි - සුනිල් ආරියරත්න / ජයතිස්ස අලහකෝන් / නන්දා මාලිනී 15
10. කවිය: “කුරවි කෙවිලි” කාව්යශේඛරය - තොටගමුවේ ශ්රී රාහුල - පළමුවන සග - 55 වන කවිය 15
11. ගීතය - පුලා සුවඳ මලවුල් කර - තොටගමුවේ ශ්රී රාහුල හිමි සැළලිහිණි සන්දේශය / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක 15
11. කවි: “පුලා සුවඳ මලවුල් කැරැ” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 73, 74, 75, කවි 16
12. ගීතය: නෙලූ අධිකාරී - නගේ මලේ මොනවද මේ විච්චූරණ නාඩගම් - සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ / නෙලූ අධිකාරි 16
12. කවිය: “කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා” - වදන් කවි පොත - අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා - 30 කවිය 17
13. ගීතය: මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න - සුනිල් ආරියරත්න / සරත් දසනායක / නන්දා මාලනී 17
13. කවි: “විදා සඳැස් පිල් සුනිලා” තිසර සංදේශය - දෙවිනුවර මහා විහාරයේ හිමි - 135 කවිය 18
14.1. පළමුවන ගීතය: ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා - එදිරිවීර සරච්චන්ද්‍ර / ජයන්ත අරවින්ද / යශෝදරා සරච්චන්ද්‍ර / මනමේ 18
14.2. දෙවැනි ගීත: ලප නොමවන් සඳ -ඩබ්. ඒ. අබේසිංහ / ඩබ්ලිව්. ඩී .අමරදේව / වික්ටර් රත්නායක 18
14. කවිය: “ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 03 කවිය 19
15. ගීතය: හැමදාමත් යාළුවේ - විජයසිරි අමරතුංග / සෝමතිලක ජයමහ / සෝමතිලක ජයමහ 19
15. කවිය: “බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 04 කවිය 19
16. ගීතය: බඹරෙකු ආවයි නිරිත දිගේයා - මඩවල එස්.රත්නායක / අමරදේව / අමරදේව 20
16. කවිය: “නල මුදු සුවඳ පිරි” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - කවිය 16 / ගුරුගේ මාලාව 20
17. රුපුනොද එඩිය බිඳ - සුනිල් ආරියරත්න / ග්‍රේෂන් ආනන්ද / සෝමතිලක ජයමහ 20
17. කවිය:” කළුවැල් කපුරු දුම තුළ” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - කවිය 22 21
18. ගීතය: තෙදිනි විරාජ - සුනිල් ආරියරත්න / ග්‍රේෂන් ආනන්ද / එඩ්වඩ් ජයකොඩි 21
18. කවිය:” තෙදිය විරාජ - රුවිනි විරාජ” කහකුරුළු සන්දේශය - ගලගම දෙවමිත්ත හිමියන්ගේ සිසුවර දික්වැල්ලේ සාමණෙරයන් - 151 කවිය 22
19: ගීතය: ඉපිද මැරේ යලි ඉපදේ - කරුණාරත්න අබේසේකර / එඩ්වන් සමරදිවාකර / ඩබ්ලිව්. ඩී. අමරදේව / දස්කම 22
19. කවිය: “කුමන නැටුම් කෙළි කවට සිනාදා” ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රීය හිමි 26 කවිය 22
20. ගීතය: අනේ මෙහෙම තණ්හාවක් - පරාක්‍රම කොඩිතුවක්කු / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ 23
20. කවි: “වදයට බැඳගෙන ගෙන යන සොරුටා” ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රීය හිමි - 43 සහ 44 වන කවි 23
21.1. පළමුවන ගීතය: ආදරයේ උල්පත වූ අම්මා - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක 24
21.2. දෙවන ගීතය: පින්සර ඔබ හැර - මහින්ද දිසානායක / ගුණදාස කපුගේ / කරුණාරත්න දිවූල්ගනේ 24
21. කවිය: “සීනෙන් ගෑ සුවඳක් සේ” ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රීය හිමි - කවිය 60 25
22. ගීතය: රහසක් ඇත ඔබ හට පවසන්නට - හේම ශ්‍රී ද අල්විස් / ආර්. මුත්තුසාමි / ලතා වල්පොළ හා ධර්මදාස වල්පොළ 25
22. කවිය: “[කිරියෙන් දියර වෙන් කළ හස මෙන් පතර” සුභාෂිතය - අලගියවන්න මුකවැටි - 6 කවිය 26
23. ගීතය: ගිරිහෙල් මුදුනේ - කරුණාරත්න අබේසේකර / එස්. වේදා / මොහිදින් බෙග් 26
23. කවිය: “සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත් අනල” සුභාෂිතය - අලගියවන්න මුකවැටි - 17 කවිය 26
24.1. ගීතය: අකුරු කරන්නට පොඩි සංදියෙ - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක 27
24.2. ගීතය: පියාඹා ඉහටත් උඩින් - රත්න ශ්‍රී විජේසිංහ / රෝහණ වීරසිංහ / නෙළුක දීමන්ත ලියනගේ 27
24.3. ගීතය: පැන මඩ කඩිති - මහින්ද චන්ද්‍රසේකර / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ 28
24. කවිය: “වේවැල් කෝටු නාරං සියඹලා අතු” “උගත මනා සිල්පය මැයි මතු රැකෙනා” වදන් කවි පොත - අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා - 33, 31 සහ 31 කවි 28
25. ගීතය: රුහුණු කතරගම කඳ දෙව් සාමිනේ - ආර්. ප්‍රේමදාස / සනත් නන්දසිරි / රොම්ලස් පෙරේරා 28
25: කවිය: වදන් කවි පොත - අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා - 62, 63 සහ 68 කවි 29
26. ගීතය: ලඹ සවන් රන් පසින් - පද රචනය: සුසිරි සිරිවර්ධන (මධුමාධවගේ මව) / සුනිල් සිරිවර්දන (මධුමාධවගේ පියා) / මධුමාධව අරවින්ද 29
26. කවිය: “ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තඳේ” ගුත්තිල කාව්‍යය - වෑත්තැවේ හිමි - 311 කවිය 30
27. ගාලා සුවඳ රස අඳුන් - මහගම සේකර / සෝමදාස ඇල්විටිගල/ ත්‍රී සිස්ටර්ස් / සිහින ලොවක් 30
27. කවිය: “කාලා රස මුසු භොජන” ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රීය හිමි - 51 කවිය 31
28. ගීතය: පියුමෙහි පැණි බොති වන බඹරු - කරුණාරත්න අබේසේකර / සී. ටී. ප්‍රනාන්දු / සී. ටී. ප්‍රනාන්දු 31
28. කවිය: “කොතරම් සා වුවත් තණ කබල නුබුදිති” සුභාෂිතය - අලගියවන්න මුකවැටි - කවිය 90 32
29. ගීතය: ප්‍රණීත මී පැණි ගෙන ආවත් - ප්‍රේමකීර්ති / ප්‍රියා සූරියසේන / ප්‍රියා සූරියසේන 32
29. කවිය: “සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ” සුභාෂිතය - අලගියවන්න මුකවැටි - 46 කවිය 33
30. ගීතය: මඩේ ලඟින තාරාවන් - ලූෂන් බුලත්සිංහල / ගුණදාස කපුගේ / මර්සි එදිරිසිංහ / තාරාවෝ ඉගිලෙති 33
30. කවිය: “මද මත් තුඟු මහත් වන ගිජිදකු ළතර” සුභාෂිතය - අලගියවන්න මුකවැටි - 48 කවිය 33
31. ගීතය: කෙළි දෙළෙන් බමන බඹරුන් - අමරසේන කංකානම්ගේ / එඩ්වඩ් ජයකොඩි / විජේසේන කොඩිප්පිලි 34
31. කවිය: හංස සන්දේශය 34
32. සිංහබාහු නටාකය - එදිරිවීර සරච්චන්ද්‍ර 34
32. කවිය: සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 06 කවිය 34
33. සිංහබාහු නාටකය 35
33. කවිය: ඉංග්‍රීසි හටන - කවිය 35
34. සිංහබාහු නාටකය 35
34. ගාථාව: මහා වග්ගපාලියේ සුද්ධෝදන මහරජු සිය පුතු සෙනෙහස මතු කර 35
35. ගීතය: "නෝනා" - ඒකාක්ෂර බන්ධනය - සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ / නන්දා මාලිනී 35
35. කවිය: සියබස් ලකර - දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශය, සියබස් ලකර නමින් සිව්වැනි සලමෙවන් සෙන් රජතුමා හෙළ බසට නඟන ලද - 372 කවිය 36
36. ගීතය: බෝසත් කුල ඇතාණෝ - සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ / ටෙලි නාට්‍යය: මහ ඇත් පවුර 36
36. කවිය: ප්‍රාතිහාර්ය ශතකය - සාලිඇලේ මනිරතන හිමි 37
-----------------------------------------------------------------------------------------
1. ගීතය: රණඹර ඉඳු දුණු සිතුවම් වෙලා - කේ.ඩී. කේ. ධර්මවර්ධන / වික්ටර් රත්නායක / මිල්ටන් මල්ලවාරච්චි
අපි මේ ගැන කතාබහ ආරම්භ කළේ එදා දිනාලි පෙරේරා විසින් මුලින්ම අපිට මතක් කළ, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ගී මිණි ආර 3 පොතේ පවා වැරදියට සඳහන් වූ වචනයක් ඇති ගීතයක්. මේ ගීතය තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන රචනා කරපු “රණඹර ඉඳු දුණු සිතුවම් වෙලා” ගීතය. මේ සින්දුවේ සංදේශ කාව්‍යයක ආභාසය ලද කොටසක් තමයි ඇගෙ ළැම “රන් ගිරි බෙයද” මැදේ කියන කොටස.
රණඹර ඉඳු දුණු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත වෙලා
වසන්තේ උදා වුණා - වසන්තේ උදා වුණා //
රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා
රණඹර ඉඳු දුණු...
[ඇගෙ ලැම රන් ගිරි බෙයද මැදේ]
මගෙ ජීවන රජ මැදුර සැදේ තැනේ
සිනින විමානේ ආදර [මතඟන]
මා වෙත ඈ එනවා
රණඹර ඉඳු දුණු...
වසන්තේ උදා වුණා ///
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව: වික්ටර් රත්නායක
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
1. කවි: “උර රන් බෙයද මඬලෙන්” කව්සිළුමිණ - පණ්ඩිත පැරකුම්බා රජ - 253 කවිය / කෝකිල සංදේශය - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි - 127 කවිය / ගිරා සංදේශය 23 / ගුත්තිල කාව්‍යය 271 / කහකුරුළු සන්දේශය 123
“රන් ගිරි බෙයද” කියන මෙම රන් හා සමාන වදන් සංකලනය පුරාණ ගද්‍ය සාහිත්‍ය කිහිපයකම යෙදෙනවා. කේ. ඩී. කේ. යොදපු අරුතට සමාන අරුතකින් යෙදෙන තැනක් තමයි...
කව්සිළුමිණ - කලිකාල සර්වඥ නරෙන්ද්‍ර - 253 වෙනි කවිය
මහ දොර සදා සිටැ - [උර රන් බෙයද මඬලෙන්]
වෙසෙසී රුකුළ ඇත්කඳ - සුරින් දෙව් එරවණ කඳ
අර්ථය: [ළපැත්ත නමැති රත්රන් කඳුබැවුමින්] නගරයෙහි මහා දොරටුව අලංකාර කොට සිට, ඓරාවණ ඇත්රජු හොබවන්නා වූ ශක‍්‍ර දෙවෙන්ද්‍රයා මෙන්, දොරටුව ළඟට ගෙනෙන ලද හස්තී රාජයා හෙබවිය.
කෝකිල සංදේශයේ - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි - 127 වන කවිය
උමගන වන් ලිය සුමුවට පැරැදැ සඳ
නම් ලප දැහැ යළි දිය බල ලබන ලෙද
අම ඔසු විමසනුව තුරු සෙන් ගෙනැ නොමඳ
ඇම සඳැ වෙහෙස විඳැවිදි [රන් ගිරි බෙයද]
ගිරා සංදේශයේ - කෝට්ටේ විහාරයක හිමි නමක් - 23 වන කවිය
තනා පබළු මුතු මිණි අබරණ පැළඳ
පිනා සඳලුවල සිටි සුරඟනෝ ලද
මනා ළපලු පත් මල් පල ගෙන නොමඳ
කනා ලියන් වැනි රැඳි [රන් ගිරි බෙයද]
ගුත්තිල කාව්‍යය - වැත්තෑවේ හිමි - 271 වන කවිය
[රන් ගිරි කුළු බෙයද]
දෙපස දිළි හැලිමෙන් සොඳ
සිට දෙපසෙහි බොළඳ
ළදුන් දුන් සෙමෙර නල විඳ විඳ
කහකුරුළු සන්දේශය - ගලගම දෙවමිත්ත හිමියන්ගේ සිසුවර දික්වැල්ලේ සාමණෙරයන් - 123 කවිය
[රන් ගිරි කුළු බෙයද]
දෙපස දිළි හැලිමෙන් සොඳ
සිට දෙපසෙහි බොළඳ
ළදුන් දුන් සෙමෙර නල විඳ විඳ
ඉතින් වැත්තෑවේ හාමුදුරුවෝ, කෝට්ටේ විහාරයේ හාමුදුරවෝ, දෙවිනුවර ඉරුගල් කුලේ හාමුදුරුවෝ, දික්වැල්ලේ හාමුදුරුවෝ, කලිකාල සර්වඥ නරෙන්ද්‍ර, නවත්තපු තැනින් මේ ලස්සන වදන් සංයෝගය ගොඩාක් ඉස්සරහට ගෙනිච්ච කේ. ඩී. කේ. බෙයද හෙවත් රන් වන් පර්වත ප්‍රාන්තය කියන සංකල්පය ස්ත්‍රියකගේ පියයුරු වලට නව උවමක් ලෙස යොදපු ආකාරය දුටුවම අපේ නූතන ගී පද රචකයෝ ගැන ඇති වන්නේ සංදේශ කාව්‍ය කාර හිමිවරුන් ගැන ඇතිවන්නා සේම මහත් භක්තියක්.
මෙම ගීතයේම කේ. ඩී. කේ. යොදන
සිහින විමානේ ආදර “මතඟන” යන යෙදුමත් පහත උදාහරණ ලෙස දක්වා ඇති මයුර සංදේශයේ 92 වැනි කවිය ඇතුළු තවත් බොහෝ පුරාණ කවිවල යෙදෙන්නක්.
ඔද මන් යොවුන් මද [මතඟන] පෙලැඹුමට
සලමන් සලඹැ සන් කොලහල යනෙන විට
සොබමන් තමන් දඟ සරි යැ යි තොප කරට
අවමන් කරන වැනි ඉන් යා ගන් නො සිට
2. ගීතය: දෙඅදර විලිකුන් සුරත් පලේ - කේ. ඩී. කේ. ධර්මවර්ධන / වික්ටර් රත්නායක / මිල්ටන් මල්ලවාරච්චි
සංදේශ කාව්‍යයන් වල යෙදුම් ගීත වලට එකතු කරපු පද රචකයෙක් වන කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් තවත් යෙදුමක් මේ. මේ ගැන තිස්ස දොඩම්ගොඩ ඔහුගේ “කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි” බ්ලොග් සටහනේ සඳහන් කරලා තිබ්බා. මෙතැන දී කේ. ඩී. කේ. රාහුල හාමුදුරුවන්ගේ උපමාව කාන්තාවගේ තොල් සඟලට උපමා කරන්නේ ඔහුගේ නිර්මාණශීලී මනසේ රඟ මැනවින් දර්පණීයමාන කරමින්.
[දෙඅදර විලිකුන් සුරත් පලේ]
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන්...
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන්...
සීත මීදුම් සිහින වැල් පැටලේ ////
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
2. කවිය: “විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” - සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 48 වන කවිය
කේ. ඩී. කේ. යොදාගත් මේ රසවත් පද සංයෝජනය අපිට හමු වන්නේ තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ලිව්ව සැළලිහිණි සංදේශයේ 48 වන කවියේ.
වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
[විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල]
සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 35 කවිය
මඟ නිලමින් සිටිනා දොඹනී පියල
පියසලමින් මලගෙහි කෙළැ රොනිනවල
[තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු පල]
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල
3. ගීතය: පුෂ්ප මකරන්දය මාගේ - ශ‍්‍රී නිහාල් ජයසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න / නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක / සිහින හතක්
සංදේශ කාව්‍යකරුවාගේ අපූර්ව පද සංයෝජනයන් ගීත සාහිත්‍ය රසවත් කිරීමට යොදා ගත් තවත් අපූරු අවස්ථාවක් තමයි ශ්‍රී නිහාල් ජයසිංහගේ පද රචනයෙන්, ෂෙල්ටන් ප්‍රේමරත්නගේ තනු රචනයෙන්, නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායකගේ ගායනයෙන් අප වෙත දායාද වෙන “පුෂ්ප මකරන්දය මාගේ” ගීතය. මේ ගීතයේ “කෝකිලයකු තුරුල්ලේ” කෝකිල සංදේශයේ පහත කවියෙන් ආබාසයක් ලබාගෙන තියෙන බව පේනවා.
පුෂ්ප මකරන්දය මාගේ (පිරිමි)
භෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප‍්‍රමාදේ
වෑහේ රසේ
භෘංග හිමි හංස විමානේ (ගැහැණු)
පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ (පිරිමි)
සුවඳ හමන දිගන්තේ (පිරිමි)
ප්‍රේම මධුර වසන්තේ
මල් පීදුන කැදැල්ලේ (ගැහැණු)
[කෝකිලයකු තුරුල්ලේ]
ලියලන ආදර සෙනේ (ගැහැණු)
ලොව සුවදායක කළේ
රන් මිණිමුතු වැල් තියේ (පිරිමි)
මගෙ හිත ගිය මාළිගේ
පුෂ්ප මකරන්දය මාගේ ...
භෘංග හිමි හංස විමානේ...
පුෂ්ප මකරන්දය මාගේ (දෙදෙනාම)
පද රචනය: ශ‍්‍රී නිහාල් ජයසිංහ
තනුව සහ සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය: නාරද දිසාසේකර සහ සුජාතා අත්තනායක
චිත්‍රපටය: සිහින හතක් -1966
3. කවිය: “කෙවිලඟනක තුරුල්ලේ” - කෝකිල සංදේශයේ - දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි - 82 වන කවිය
පුන් සඳ කිරණ පෙර දිගු නෙත විපුල්ලේ
නන් කොඳ කුමුදු විකසිත වන ඇසිල්ලේ
මෙත් ගන සොබන තුරු මැදැ වෙහෙර පල්ලේ
මන් බැඳ ලගින් [කෙවිලඟනක තුරුල්ලේ]
4. ගීතය: තුට කළ ලෙවන් - ඇළපාත මුදලි - දයානන්ද ගුණවර්ධන / රෝහණ බැද්දගේ / ජයසිරි චන්ද්‍රජිත් - එඩ්වඩ් ජයකොඩි / ගජමන් පුවත
දයානන්ද ගුණවර්ධන ගජමන් පුවත වේදිකා නාට්‍යට ඇතුළත් කර එඩ්වඩ් ජයකොඩි ගීයක් ලෙස ගයනා කරන ඇලපාත මුදලි ගජමන් නෝනාට කීවා යයි සැලකෙන පහත කවි ගීතයේත් සංදේශ වදන් ආභාසය තියෙනවා.
[තුට කළ ලෙවන්] ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද
උස්සා කර බැලුවෙ දුටුදා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ මට
වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතායුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා
පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර නොගන්නේ
පද රචනය: ඇළපාත මුදලි සමග දයානන්ද ගුණවර්ධන
තනුව සහ සංගීතය: රෝහණ බැද්දගේ
ගායනය: එඩ්වඩ් ජයකොඩි
නාට්‍ය: ගජමන් පුවත
4. ගද්‍ය / කවිය: “තුටු කළ ලෙවන් නෙත්” ජානකීහරණය / ගිරා සංදේශය - කෝට්ටේ විහාරයක හිමි නමක් - 214
කෝට්ටේ විහාරයක හිමි නමක් ලියූ ගිරා සංදේශය 214 වන කවිය පහතින් ඇත්තේ. මේ වගේම පද සංකලන ජානකීහරණය “තුටු කළ ලෙවන් නෙත්” බුදු ගුණ අලංකාරය “තුටු කළ සත සතන” වගේ තව තැන් කිහිපයකම තියෙනවා.
ගුවන් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ
පවන් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ
[ලෙවන් සතුටු කළ] හිම ගිරි කුළෙ’ කලෙසේ
සවන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ වගේ
5. ගීතය: නිවන් පුරට මඟ පෙන්වන - ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස / පණ්ඩිත් අමරදේව / පූජිතයෝ
ධර්මසිරි ගමගේ ගේ ගී පද රචනයකත් සංදේශයකින් ලැබුණු එළිය මොනවට පැහැදිලි වෙන්නේ බුදු බැතියකුත් සිතේ මවමින්. ගීතය තමයි ප්‍රේමසිරි කේමදාස තනු හා සංගීතය නිර්මාණය කරන, ඩබ්ලිව්. ඩී. අමරදේව ගායනා කරන “නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ” කියන පූජිතයෝ සිනමා සිත්තමේ ගීතය. මෙම ගීතයේ “නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ” ඛණ්ඩය බලන්න.
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ
මැනික් තොටින් අහස උසට බුදුරැස් විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ
[නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ]
තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ
සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ
පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ
වරක් ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ
උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේ
පද රචනය: ධර්මසිරි ගමගේ
තනුව සහ සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටය: පූජිතයෝ - 1971
5. කවිය: “මනහර නා මණෙවිය හිඳ ළවැලි පිට” - සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 45 වන කවිය
ධර්මසිරිගේ පන්හිඳ මැවූ ඒ බුදු බැතියත් හිතේ තියා ගෙනම තොටගමුවේ ශ්රී රාහුල හිමියන් 1412-1467 වගේ කාලෙක සැළලිහිණි සංදේශයේ ලියූ 45 වන කවිය බලන්න.
[මනහර නා මණෙවිය හිඳ ළවැලි පිට]
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
6. ගීතය: රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා - වෑත්තෑවේ හිමි - ගුත්තිල කාව්‍යය / සුසිල් ප්‍රේමරත්න / සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල
ගුත්තිල කාව්‍යයේ එන කවි කීපයක් ඍජුවම ගීතයකට එක් කරපු උදාහරණයක් තමයි මේ. සුසිල් ප්‍රේමරත්න කොච්චර ලස්සන තනුවක් යොදලා තියෙනවද කියනවා නම්, අපිට ගුත්තිල කාව්‍යයේ මේ කවි ටික කියවෙන්නෙත් මේ තාලෙටමයි.
රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා (පිරිමි)
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා (කාන්තා)
මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා
පුන්මදාරා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා (පිරිමි)
මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉතා (කාන්තා)
උන් එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා
පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැඳේ (පිරිමි)
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තඳේ
මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ (කාන්තා)
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ
බඹ වුවත් දැහැනින් මිදේ //
පද රචනය: වෑත්තෑවේ හිමි - ගුත්තිල කාව්‍යය
තනුව සහ සංගීතය: සුසිල් ප්‍රේමරත්න
ගායනය: සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල
6. කවි: “රූ රැ සේ අදිනා ලෙසේ” - ගුත්තිල කාව්‍යය - වැත්තෑවේ හිමි - 309, 310, සහ 311 කවි
151. රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා
152. පුන්මදාරා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා
153. පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තඳේ
මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ
7. ගීතය: සිරි පොද වැස්සේ රාත්‍රියේ - සුනිල් ආරියරත්න / සරත් බාලසූරිය / නන්දා මාලනී
මේ ගීතයේ පුරාණ කාව්‍ය ආබාසය ගැන තොරතුර සොයා ගත්තේ තිස්ස දොඩම්ගොඩගේ “කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි” බ්ලොග් සටහනෙන්.
සිරි පොද වැස්සේ රාත්‍රියේ
පහන් කනුව යට ඔබ හැමදාමත්
[රැගත් සුරා පිරූ විතින්
පුවත් නොදැන බමන ගතින්
සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්]
සංවේගයේ දළ රළ පෙළ කැළඹේ
සංසාරයේ ප්‍රාර්ථනා වැළලේ
මේ මොහොතේ ඔබ දෑස දකින්නේ
ප්‍රථම ප්‍රේමයේ ස්වප්නයදෝ
සිරි පොද වැස්සේ රාත්‍රියේ
සංග්‍රාමයේ පැරදුන සෙබලකු සේ
සන්තානයේ දුක බිය සැක මතුවේ
වියෝ වියරුවෙන් සිරුර දවන්නේ
බිඳුණු ස්නේහයේ වෛරය දෝ
සිරි පොද වැස්සේ රාත්‍රියේ...
පද රචනය: සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: සරත් බාලසූරිය
ගායනය: නන්දා මාලනී
7. කවිය: “රැගත් සුරා පිරූ විතින්” ගුත්තිල කාව්‍ය - වැත්තෑවේ හිමි - උදේනි පුර වැණුම් - 122 කවිය ?
ගුත්තිල කාව්‍යයේ උදේනි පුර සැණෙකෙළි වැනුමෙහිදී, සුරාවෙන් මත්වූවන් පිළිබඳව මෙන්ම සුරාපාන අලෙවි කළ අවන්හල් පිළිබඳව ද කියවේ.
සුරා සලෙලු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ
පුරා අවුළු නොයෙක රසේ
සරා අවන්හල් සහසේ
[රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙතිසෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්]
නටත් අයෙක් සුරා මතින්
8. ගීතය: ප්‍රේමයෙන් මන රංජිතවේ - එදිරිවීර සරත්චන්ද්‍ර / ජයන්ත අරවින්ද / බෙන් සිරිමාන්න සහ ට්‍රිලීශියා ගුණවර්ධන / මනමේ
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර 1956 දී මනමේ නාට්‍යයට ලියපු, බෙන් සිරිමාන්න සහ ට්‍රිලීෂියා ගුණවර්ධන ගායනා කරන ගීය පහත තොටගමුවේ ශ්රී රාහුල හාමුදුරවෝ ලියපු කාව්යශේඛරයේ සිව්වන සගේ ලියපු 15 වන සහ 16 වන කවි වල ආභාසය ලැබූ බවක් පේනවා.
15. පිපි මල් සැති පඟුරන බිඟු ගුගුරන
රතහෝපලු පඳු රන දියකඳුරන
ලිය ගී දනු මධුරන ලියකිඳුරන
ඇතිනිය වෙත සිඳු රන යන සොඳුරන
16. පැන පැන යන වඳුරන පල වගුරන
ගුමු ගුමු නද බමරන පිපි තඹරන
බිය කර ගිරිදැදු රන සිටි ගවරන
පියරැව් ලන සියු රන මතමියුරන
ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ //
ආලයෙන් වෙලි සැදිමේ ලතා //
මණ්ඩපයෙන් චණ්ඩාපත ඛන්ඩිත වේ හිරු රජිඳුගෙ //
ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදිමේ ලතා //
මණ්ඩපයෙන් චණ්ඩාපත ඛන්ඩිත වේ හිරු රජිඳුගෙ //
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරව් දෙන ගී සිංදු අම බිංදු //
සෑම දෙසේ සංගීත ඇසේ //
[පිපි තඹරන නඳ බඹරන
පිය රැව්දෙන ලියකිඳුරන] //
කෝකිල හඬ කන් පිනවයි...
පද රචනය: එදිරිවීර සරත්චන්ද්‍ර
තනුව සහ සංගීතය: ජයන්ත අරවින්ද
ගායනය: බෙන් සිරිමාන්න, ට්‍රිලීශියා ගුණවර්ධන
නාට්‍යය: මනමේ - 1956
8. කවිය: “නද බමරන පිපි තඹරන” - කාව්යශේඛරය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - සිව්වන සග - 15 වන සහ 16 වන කවි
තොටගමුවේ ශ්රී රාහුල හාමුදුරවෝ කාව්යශේඛරයේ සිව්වන සග දී ලියපු 15 වන සහ 16 වන කවි දෙක මෙන්න
පිපිමල්සැති පඟුර රන බිඟු ගුගුරන
රතහෝපලු පඳු රන [දියකඳුරන]
ලිය ගී දනු [මදුරන ලියකිඳුරන]
ඇතිනිය වෙත සිඳු රන යන සොඳුරන
පැන පැන යන වඳුරන පල වගුරන
ගුමු ගුමු [නද බමරන පිපි තඹරන]
බිය කර ගිරිදැදු රන සිටි ගවරන
[පියරැව් ලන] සියු රන මතමියුරන
9. ගීතය: සුරරද සමන් සමගින් සුරඟන එවර - තොටගමුවේ ශ්රී රාහුල හිමි - සැළලිහිණි සංදේශය / ඩබ්ලිව්. ඩී. අමරදේව / ඩබ්ලිව්. ඩී. අමරදේව
තොටගමුවේ ශ්රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයේ කවි කිහිපයක් තැනින් තැන තෝරා ගෙන අමරදේවයන් ගීතයකට පෙරලන්නේ මෙහෙමයි. මේ ගීතය සම්බන්ධ තොරතුරත් මට ලැබුණේ මුහුණු පොතේ “පැරණි සිංහල ගී රසික හවුලේ” නදීක චමින්ද ලියපු දෙයකින්. මූලාශ්‍රය
http://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130113_pothakin_amaradeva.shtml
සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳි මුනිසිරිපා තඹර
සකිසඳ පෙනේ සමනළ ගල නැගෙන හිර
සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලාගන කනත
කලා පිලා නොවැ ඇල්ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු කෙත
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැලලිහිණිය වදු කැලණිය පුර වරට
සැදී රත තඹර රන තිසරුන් රුවැති
විදී දිය දහර ලෙළ දෙන දිගු තරු පටැති
රැඳී රළ රළැති හොය දියවන්නා නමැති
ඇඳී පුර අඟන පට සළු සිරි රැපයි නිති
සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසිරන ලියෙව් රූ සිරියුත් මෙපුර ඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන
මනහර නා මෙනෙවිය හිඳ ළවැලි පිට
ගෙන මිණි වෙන තත් නියඟින් මැද රුවට
කන එව කියන බුදු ගුණගී මියුරු කොට
සැන හෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
පද රචනය: තොටගමුවේ ශ්රී රාහුල හිමි - සැළලිහිණි සංදේශය
තනුව, සංගීතය සහ ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව
http://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130113_pothakin_amaradeva.shtml
9. කවි: “සුරරද සමන් සමගින් සුරඟන එවර” සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්රී රාහුල හිමි - 8, 13, 16, 25, 38, 45, 53 කවි
මෙන්න එම ගීතයට පාදක වුනු කවි අංකත් එක්කම.
08. සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති
13. සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන
16. නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
25. සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
38. සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලා ගෙන කනත
කලා පිලා නොව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළුකෙත
45. මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට
53. පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට
https://youtu.be/ujF9PSgnVJU
10. ගීතය: කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි - සුනිල් ආරියරත්න / ජයතිස්ස අලහකෝන් / නන්දා මාලිනී
මේ ගීතය ගැන සඳහන් වෙලා තිබුනෙත් තිස්ස දොඩම්ගොඩගේ “කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි” බ්ලොග් සටහනේ. ගීතය උපුටා ගත්තේ ප්‍රභාත් රාජසේකරගේ ගීත පිටුවෙන්.
[කුරවි කෙවිල්ලන්] පානා ඉඟි බිඟි //
නෑ නෑ මෙතෙක් පෙණුනේ //
(Chiran Windsor විසින් )
-------------------------------------------------------------------------------------
ප.ලි
මේ ලිපිය පටන් ගත්තේ මමත් දිනාලිත් මුහුණු පොතේ “සංදේශ කාව්‍යවල ආබාසය ලැබූ සිංහල ගීත” ගැන කරපු කතාවකින්. ඒ වගේම මේ තේමාවෙන්ම ලියැවුණු තිස්ස දොඩම්ගොඩගේ “කුරවී කෙවිල්ලන් පානා ඉඟි බිඟි බ්ලොග් සටහනෙනුත්, එහි ඇනෝනිමස් නමින් එක් අයකු දමා තිබූ කමෙන්ටුවකිනුත් මේ ලැයිස්තුවට ගීත පහක්වත් එකතු වුනා. නමුත් මෙවර ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු කර නැවත පළකරනවා. මේ පාර ප්‍රධාන සංදේශ කාව්‍ය පහට පමණක් සීමා නොවී ගුත්තිලය, කව්සිළුමිණ ආදී අනිකුත් පුරාණ ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ කරා වැඩේ පෘථුල කළා. මේ ලැයිස්තුවට ගීත තෝරාගත් පදනම වුනේ යම් කවියක පද සංකලනයක් දැක්ක ගමන් අපට ඒ හා සමාන ගීතයක් මතක් වෙනවා නම් හෝ යම් ගීතයක් ඇසු විට කවියක පද මතක් වෙන ගීත. අවම වශයෙන් වචන තුනක පද සංකලනයකට කවිවලින් ආභාසය ලැබුණු ගීත තමයි තෝරා ගත්තේ. මට ගීත මතක ඇත්තේ ස්වල්පයක් බැවිනුත්, මගේ සාහිත්‍ය දැනුම ඉතා අල්ප බැවිනුත් ගොඩක් ගීත මග හැරෙන්න ඇති. තවත් මතක් වෙන ඒවා මේකේ අමුණන්න.
No comments:
Post a Comment