Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Friday, September 7, 2018

“තිරුවංගල්”


“තිරුවංගල්” වග තුග සෙවීම

මේ වචනය ගැන කළ සෙවිල්ල අනුව දැනට එන්න පුළුවන් නිගමනය තමයි, තවමත් මේ වචනය සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ශ්‍රී ලාංකීය ජන සමාජයේ භාවිතා වන තැනක් හරියට සොයා ගන්න බැරි බව. ඒ වගේම මේ වචනය ද්‍රවිඩ හෝ වෙනත් බසකින් බිඳුනා නම් ඒ ගැනත් අනුමාන මිස පිළිගත හැකි සාධකයක් තවම හමුවී නැති බව. මේ වචනේ සිංහල ලිඛිත සාහිත්‍යයේ අවස්ථා තුනක එන බව පැහැදිලියි. ඉන් මුල්ම යෙදුම කළ පරාක්‍රම කොඩිතුවක්කු (හරි වුනත් වැරදි උනත්) මේක වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන් නාසයට දමන කරාබුවට කියන නමක් කියන දැඩි විශ්වාසයකින් ඒ වචනේ යෙදුව බව පැහැදිළියි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ 1970 දශකයේ වතුකරයේ මේ වචනේ එසේ භාවිතා වූ බවට තහවුරු කළ හැකි වෙනත් කෙනෙක් තවම හමු නොවීම. ඉන් පසුව තිරුවංගල් කියන වචනේ යොදපු මහින්ද චනද්‍රසේකර මේක කණේ දමන කරබුවක් කියලා උපකල්පනය කරලා තමයි යොදලා තියෙන්නේ. ඉන් පසුව තිරුවංගල් යොදපු රත්න ශ්‍රී විජේසිංහ මෙය කණේ පළඳින මැණික් ගලක් සහිත ආභරණයක් හෝ වඩාත් පැහැදිලිව කිවුවොත් කරාබුවක ඇති මැණික් ගලක් කියලා උපකල්පනය කරලා තියෙන්නේ. හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. නමුත් අද වෙන කොට මේ වචනේ ඒ අර්ථයෙන් සමාජය පිලි අරන් තියන බව පේනවා. එහි අර්ථය cliche එකක් බවට පත් වෙලා තිබුණත් ජනතාව එය අවබෝධ කර ගන්නේ කණේ දමන කරාබුවක් හෝ විශේෂිතව කිවුවොත් මැණික් ගලක් සහිත කරාබුවක් ලෙස බව පේනවා. ඒක එහෙම නම් ඒ අරුතින් මේක සිංහල ශබ්ද කෝෂයට එක වුනාවේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා හදා ගත්තු වචනයක් වුනත්.

කෝකිල සංදේශ කවි පොතේ


සිංහල ගීත හා සංදේශ කියන මාතෘකාව දැක්ක ගමන්ම මගේ මනසේ රැව් පිළිරැව් දෙන ගීත තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අජන්තා රණසිංහ රචනා කර ප්‍රියා සූරියසේනගේ තනු සහ සංගීත නිර්මාණයෙන් අප අතරට එන “ගෙල වට බැන්දා වූ මුතු පොටේ” ගීතයේ නිරංජලා සරෝජිනීගේ ළගන්නා හඬින් අප ළය මානයන්හී රැඳී ඇති “කෝකිල සංදේශ කවි පොතේ - ඔය වැනි උපමා ද තව ඇතේ” ගීත ඛණ්ඩය.
දෙවැනි ගීත ඛණ්ඩය තමයි කරුණාරත්න අබේසේකරගේ පද රචනයෙන් තිලකසිරි ප්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් අපට දායාද වූ “එන්න මද නලේ” ගීතයේ තිලකසිරි ප්‍රනාන්දු විසින්ම ශෝකී ලය මානයකින් ගායනා කරන “සෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කලා” කියන කොටස සහ “සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ - හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ” කියන කොටස.
ඒ වගේම තුන් වැනියට රූපා ඉන්දුමතී ගයන සුනිල් ආරියරත්න පද රචනය කළ, තනුව කාගේ දැයි හරියට සොයා ගත නොහැකි වූ “දේශයෙන් දේශේ බලා” ගීතයේ, “සංදේශයක් ලියා එවමි කා අතේ සැළලිහිණියෝ, රණ හංසයො කුරුල්ලන් නැතේ” සහ “පෙම් දූතයෙක් කලා එදා මේඝයක් පවා” කියන කොටස් දෙකත් අපේ මතකයට එනවා.
සංදේශ කාව්‍ය වල වගේම වෙනත් පුරාණ පද්‍ය සාහිත්‍යයේ භාවිතා වුන රසවත් යෙදුම් මෙන්ම පද සංකලනත් අපේ ගේය පද රචකයෝ අප සියලු දෙනාගේම හදවත් සුව පත් කරන දිව ඔසුවක් වන ගීත නිර්මාණය කිරීමේ දී අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ගීත හා ඊට ආලෝකය ලැබුවා යැයි සිතන කවි එකින් එක විමසා බලමු.

Tuesday, September 12, 2017

බිංදු බිංදු රන් ගෝමර මාලා


ජන කවි ආශ්‍රිතව බිහි වුන සින්දු අපේ හද ගන්නේ ජන කවිය තුළ අපට ඇති කිට්ටු බව හා ජන විඥානය නිසා ද කියලා හිතෙනවා. ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජන කවි නාද රටා ඇසුරෙන් සංගීතය නිර්මාණය කොට ඇති ගීත. අනික තමයි ජන කවි ඇසුරෙන් පද මාලා රචනා කොට ඇති ගීත. ජන කවි ඇසුරෙන් පදමාලාව රචිත ගී සමහරක ජන ගී නාද මාලා භාවිත කරලා නැහැ (උදා - මිනි මිනි පොදේ). ජන නාද රටා ඇති ගීත සියල්ලකම පදමාලාවන් ජන කවි ඇසුරෙන් ලියා ඇත්තේ ද නැහැ (උදා - රුක් අත්තන මල මුදුනේ). මෙම කවි/ගීත එකතුවේ ඇතුළත් වන්නේ පළමු වර්ගයට අයත් ජන කවියේ පද වලින් ඍජුවම හෝ ඉතා සුළු වශයෙන් ගී පද වලට ආභාසයක් ලබුවා කියලා හිතෙන ගීත විතරයි. සමහර විට ගීතයේ යම් පද කිහිපයක් පමණක් ජන කවියකට සමාන හෝ ජන කවියක් මතක් වෙන ගීතත් දාලා ඇති (උදා: බණ්ඩාර මැණිකේ). ගී තනුවට ජන කවියේ ආබාසය ලැබූ ගීත මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුනත් ඉඳ හිට ඒ වර්ගයේ එකක් දෙකක් දාලා ඇති.

Friday, June 16, 2017

සුබ උදෑසනක් ......( 1 කොටස )



1. අද ඉපැදුනු නැවුම් ලොවට


අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න


උපන් බිළිඳු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී

දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී


සහසක් බුදු වදන් නිතර
නැළවිලි ගීයෙන් ගයතී
සිරිදළදා හිමි සරණින්
පිහිට ලබා නිදුක් වෙතී

උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට
සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ