Friday, September 7, 2018

“තිරුවංගල්”


“තිරුවංගල්” වග තුග සෙවීම

මේ වචනය ගැන කළ සෙවිල්ල අනුව දැනට එන්න පුළුවන් නිගමනය තමයි, තවමත් මේ වචනය සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ශ්‍රී ලාංකීය ජන සමාජයේ භාවිතා වන තැනක් හරියට සොයා ගන්න බැරි බව. ඒ වගේම මේ වචනය ද්‍රවිඩ හෝ වෙනත් බසකින් බිඳුනා නම් ඒ ගැනත් අනුමාන මිස පිළිගත හැකි සාධකයක් තවම හමුවී නැති බව. මේ වචනේ සිංහල ලිඛිත සාහිත්‍යයේ අවස්ථා තුනක එන බව පැහැදිලියි. ඉන් මුල්ම යෙදුම කළ පරාක්‍රම කොඩිතුවක්කු (හරි වුනත් වැරදි උනත්) මේක වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන් නාසයට දමන කරාබුවට කියන නමක් කියන දැඩි විශ්වාසයකින් ඒ වචනේ යෙදුව බව පැහැදිළියි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ 1970 දශකයේ වතුකරයේ මේ වචනේ එසේ භාවිතා වූ බවට තහවුරු කළ හැකි වෙනත් කෙනෙක් තවම හමු නොවීම. ඉන් පසුව තිරුවංගල් කියන වචනේ යොදපු මහින්ද චනද්‍රසේකර මේක කණේ දමන කරබුවක් කියලා උපකල්පනය කරලා තමයි යොදලා තියෙන්නේ. ඉන් පසුව තිරුවංගල් යොදපු රත්න ශ්‍රී විජේසිංහ මෙය කණේ පළඳින මැණික් ගලක් සහිත ආභරණයක් හෝ වඩාත් පැහැදිලිව කිවුවොත් කරාබුවක ඇති මැණික් ගලක් කියලා උපකල්පනය කරලා තියෙන්නේ. හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. නමුත් අද වෙන කොට මේ වචනේ ඒ අර්ථයෙන් සමාජය පිලි අරන් තියන බව පේනවා. එහි අර්ථය cliche එකක් බවට පත් වෙලා තිබුණත් ජනතාව එය අවබෝධ කර ගන්නේ කණේ දමන කරාබුවක් හෝ විශේෂිතව කිවුවොත් මැණික් ගලක් සහිත කරාබුවක් ලෙස බව පේනවා. ඒක එහෙම නම් ඒ අරුතින් මේක සිංහල ශබ්ද කෝෂයට එක වුනාවේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා හදා ගත්තු වචනයක් වුනත්.

මේ වචනය ගැන මූලාරම්භය සෙවීමට ක්‍රම තුනක් යෙදුවා

A. සිංහල ලේඛන වල මින් පෙර මෙම යෙදුම යෙදූ අවස්ථා විමසා බැලීම

B. ජන වහරේ මෙම වචනය පවතිනවා ද හෝ පැවතියා ද කියා සොයා බලන එක

C. වෙනත් භාෂා හා සිංහල ආශ්‍රිතව අනුමාන කරලා පද නිරුක්තිය හොයා ගන්න එක.

A. පෙර යෙදුම්

අපේ මතකය හා අන්තර්ජාලයෙන් සොයා ගත හැකි උදාහරණ තුනයි මතක් වුණේ. ඒවා ලියූ කාල වකවානුත් අනුව සංසන්දනය කළා නම් මේකේ අග මුළ හොයා ගන්න ලේසි වෙන්න තිබුණා.

(අ) රත්න ශ්‍රී රචනා කළ - ශාන්තිනී ගීතයේ - “කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්” කොටසේ එන යෙදුම -මේ ගැන රත්න ශ්‍රී විජේසිංහම කියපු දේ, ඔහු මුලින්ම කිවුවේ ඒක දෙමළ වචනයක් වෙන්න ඇති කියලා. නමුත් මම කිවුවම දෙමළ අය මේක දන්නේ නැහැ කියලා, එතුමා කිවුවේ මේක දෙමළ බස ආශ්‍රිතව සිංහල අය හදා ගත්තු එකක් වෙන්න ඕන කියලා. ඔහු හිතුවේ දෙමළෙන් "තිරු" කියන වචනේ පූජනීය කියන අර්ථය දෙන නිසා කණේ පලඳින අරුංගල් වලට අපේ කට්ටිය තිරුවංගල් කියලා හදා ගෙන වෙන්න ඇති කියලා. ඔහු හිතුවේ තිරුවංගල් කියන්නේ කඩුක්කන් වල පළඳින මැණික් ගල් විශේෂයක් කියලා. හැබැයි මට අමතක වුණා රත්න ශ්‍රී මහත්මයාගෙන් අහන්න ඔහු මෙම ගීතය ලිව්වේ මොන අවුරුද්දේද කියන එකත් ඔහුගේ ඔළුවට මේ වචනේ ආවේ කොහෙන්ද කියලා අහ ගන්න එක. උදාහරණයක් ලෙස මුලින් ලියැවුණු ගීතයෙන්ද, නැති නම් කණට ඇසුණු යම් පලාතක ජනතාව භාවිතා කල වචනයකින්ද? කරුණාසේන කොඩිතුවක්කුගේ කවිය වගේ වෙනත් නිර්මාණයකින් ද මේ වචනේ ඔළුවට ආවේ කියන එක.

(ආ) මහින්ද චන්ද්‍රසේකර 1986 දී රචනා කළ - ‘මරතෝණ්ඩිය රටා’ හෙවත් ‘පාතිමා’ ගීතයේ - “මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා” කියන යෙදුමේ. මහින්ද චන්ද්‍රසේකර දැන ගෙන හිටියේ නෑ රත්න ශ්‍රී විජේසිංහගේ “ශාන්තිනී තෙමා වැටේ” සින්දුවේ තිරුවංගල් කියන වචනය යෙදෙන බව. ඔහු හිතුවේ ‘ශාන්තිනී’ ගීතය ලියැවෙන්න ඇත්තේ ඔහු මෙම වදන ඇතුළත් කරලා ලියපු ‘පාතිමා’ හෙවත් ‘මරතෝන්ඩිය’ ගීය ලියපු 1986 ට පස්සේ වෙන්නැති කියලා. ඔහු තිරුවංගල් කියන වචනේ උපුටා ගෙන තියෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු ගේ කවියෙන්. ඔහු හිතාගෙන හිටියේ මේක ද්‍රවිඩ බසින් කරාබුවට කියන වචනයක් කියලා. ඔහු යෙදුවේ නම් මේ අරුත හිතේ තියා ගෙන.

මට හිතෙන්නේ මේ ගීත රචකයන් දෙදෙනා ම ඔවුන්ට වෙනත් තැනකින් ඇසුණු හෝ කියවූ වචනයක් එහි සැබෑ අරුත හෝ මූලාරම්භය සෙවීමට නො ගොස් රචනාවේ රසවත් බව සඳහා යොදා ගෙන තියනවා කියන එක. වරදක් කියනවා නෙවෙයි - අලුත් වචනයක් හැදුවත් මට නම් අවුලක් නෑ - හැබැයි ඒක cliche (මේවට කියන සිංහල වචනේ නම් දන්නේ නෑ) එකක් නොවී මේ කියන්නේ මොකක්ද කියලා හරියටම දැන ගෙන අහනවා නම් තමයි වඩා හොඳ කියලයි මට හිතෙන්නේ.

(ඇ) පරාක්‍රම කොඩිතුවක්කුගේ 1972 ලියපු පොඩි මල්ලී” කාව්‍ය සංග්‍රහයේ එදා මැරුණේ අපේ කෙනෙක්” කියන කවියේ එන “නැහැ පුඩුවේ-තිරුවංගල් රැස් බැබැලෙන” තැන ඔය වචනය අන්තර්ගත කළ එක තමයි

ලේඛන සාහිත්‍යයේ එන පරණ ම පෙර යෙදුම. මේ කවිය මට හමු වුනේ බුද්ධදාස ගලප්පත්ති දිවයින පුවත් පතට ලියූ පහත වෙබ් ලිපිනයේ ඇති ලිපියෙන්. මේ අනුව මේ නිර්මාණ තුනෙන් මුල් යෙදුම කරලා තියෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු 1972 දී. කාරණය එහෙම නම් අහන්න හොඳම කෙනා ඔහු කියලා හිතුණා. පරාක්‍රම කොඩිතුවක්කු කීවේ මේක ලංකාවේ වතුකරයේ භාවිතා වන ප්‍රකට වචනයක් කියලා. දෙමළ අය නහයට දාන කුඩා කරාබුවට තමයි මෙහෙම කියන්නේ කියලා කිවුවා. මම ඇහුවා ඔහුගේ කණෙන් ම මේ වචනය අහලා තියනවා ද කියලා. ඔහු කීවා ඒ කාලේ ඔහු වතුකරයේ ජනතාව සමග කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ බවත් අවුරුදු 20 ක් වැනි දිගු කලක් ඒ ප්‍රදේශ වල ගැවසුණු බවත් මේ වචනේ ගැන කට්ටිය දන්නේ නැති එක පුදුම බවත්. මම ඇහුවා මේ වචනේ වෙනත් ලේඛන වල තියෙනවා දැකලා තියෙනවද කියලා. ඔහු කීවේ දන්නා තරමින් ඔහු තමයි මුලින්ම යෙදුවේ කියලා. 

B. ජන වහර

මේ ගැන සොයන්න ක්‍රම දෙකයි ඔලුවට එන්නේ.

1. එකක් fb සිංහල ව්‍යාකරණ පිටුව වගේ fb පිටුවලින් හා බ්ලොග් වලින් අහන එක.

2. ජේ.බී. දිසානායක වගේ ජනවහර ගැන විශාරදයින් ගෙන් ඇසීම.

C. වෙනත් භාෂා හා සිංහල ආශ්‍රිතව අනුමාන කරලා පද නිරුක්තිය හොයා ගන්න එක.

මේ පිළිබඳව දැනට ආපු හෝඩුවා වන්

1. නිලාර් එන් කාසීම් “මරතෝන්ඩිය රටා” ගීතය ගැන දිවයින පුවත් පතට ලියූ ලිපියේ පල වූ:

* මීට ආසන්තම ශබ්දයක් හා අර්ථයක් ඇති දෙමළ පද්‍ය "තිරුපහමනි" ය එනම් කරාබූවක හෝ නාසිකාභරණයක අග ඇති මූරිච්චිය

2. අග්නිදිග සරසවියේ අමරසිරි වික්‍රමරත්න මහතා:

* තිරුවන්ගල් නම් දෙමළ වචනයක් නැත. නමුත් “පුරුවම්හල්” (puruvangal) නමින් ඇසි දෙබැම හැඳින්වේ. මෙය එයින් බිඳී ආ වදනක් දැයි සිතේ.

3. දිනාලි පෙරේරා:

* ලාම්පුවක් වගේ වෙනත් යමක් වෙන්න බැරිද?

* එළිය වැටුනම දිලිසෙන යමක් වෙන්න බැරිද?

4. මෙනූෂා ක්ෂේවියර්:

* ඕක මැණික් ගලක් වෙන්න බැරිද?

* රත්න ශ්‍රී අවබෝධ කර ගෙන තිබුනෙත් මේක කණේ පළඳින ආභරණයක ඇති මැණික් ගලක් වෙන්න ඇති කියන එක නිසා මේක කිට්ටුයි වගෙත් පේනවා.

* “තිරුවංගල් කියන්නේ Quartz ද?

* Quartz කියන්නේ සාමාන්‍ය භාවිතයෙන් නම් තිරුවාණා ගල්.

* හැබැයි මධුර ශබ්දකෝෂයේ සොයලා බැලුවහම දෑවාණ (quartz, crystal), දිය තරිප්පු (quartz), කදා (quartz, crystal, glass), පලිඟු වර්ගයක් කියන වචනත් එනවා. මේ අනුවත් වෙනත් යෙදුම් අනුවත් කදා මිණ, පලිඟු, විනිවිද පෙනෙන අර්ධ මැණික් ආදී විවිධ තැන් වල යෙදෙනවා.

* ඒ වගේම Quartz jewellery කියලා ගූගල් කරලා බැලුවාම මෙම අර්ධ මැණික් භාවිතා කල ආභරණ හමු වෙනවා. මේවා ගැන හිතුවාම නම් රත්න ශ්‍රී යොදපු විදිය, ඒ කිවුවේ “කඳුළු වලට තිරුවංගල් එළිය වැටීමෙන්” කියන එක ලස්සනට මැවෙනවා.

* මේ ගැන අදාළයි වගේ පෙනෙන වෙබ් යෙදුම් කීපයක් තමයි - “රෝස තිරිවාණා නැතහොත් මඳ රතු දිය තරිප්පු වූ කලී කොන්දේසි විරහිත, ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයකි”, “දිය තරිප්පු වල වර්ණයන් බොහෝවිට අවර්ණ හෝ සුදුමැලි වුවද, තද වර්ණයන් බොහෝ සුලභ බවින් අඩුවේ.” “අතීතයේ උපැස් සෑදීම සඳහා දිය තරිප්පු යොදා ගෑණුනි”, “දිය තරිප්පු වලින් කොත් හදනවා”, “ථූප කොත් සරසලා-හරි ඇඳිරි දුරලලා දිය තරිප්පු වැඩ දමා-ඔහු හිඳී සැනසිලා”

* හැබැයි කොස්සකට තියෙන්නේ Quartz වලට තිරුවාණා කියනවා මිසක්, තිරුවාණා+ගල්=තිරුවංගල් කියලා නම් කොහේ වත් යෙදිලා නෑ.

* යම් පලාතක Quartz වලට තිරුවංගල් කියලා කියන බවක් දන්නවා නම් මිසක් මේ කතාවත් එක පාරට පිළිගන්න බැරි සැකයෙන් යුතුව බැලිය යුතු දෙයක් වෙනවා.

5. ජනක බොරලැස්ස:

* තිරුවංගල් කියන්නේ උල්කරනවා, හෝ උල්වූ කොටස කියන එක කියලා සමහරු කිවුවා

6. තනූජා විදානපතිරණ:

* මුස්ලිම් කාන්තාවක් කිව්ව මුස්ලිම් අය කනේ කන් පෙත්තට උඩින් එනම් කනෙ උඩ හරියට මදක් පහලින් කන් දාරයේ කරාබුවක් පලඳිනවා කියලා. මෙය සින්හල අය විලාසිතාවට කලත් මුස්ලිම්

සාම්ප්‍රදායක ආභරණයක්. එය පලඳින තැන ඈ පැවසූ පසු තනුජාට හිතුණේ මේ තිරුවන්ගල් කියන්නෙ කනේ පෙත්තට මද ඉහලින් කන දාරයේ පලඳින කරාබුව විය යුතුයි කියලා. ඔය කරාබුව කනේ පළඳින්නෙ ඇසට සමාන්‍තරව හෝ මදක් ඉහලින් නම් එහෙම උනාම එහි එලියට කඳුලු මතට පතිත වෙන්න පුලුවන් රත්න ශ්‍රී ගේ සින්දුවේ වගේ. “තිරුවන්ගල්" කියන්නෙ මේ කරාබුවටද?

7. වෙබ් සෙවීම:

* තිරුවංගල් කියලා නගරයක රාමස්වාමි කෝවිලක් ඇති බව

කණේ දමන කරාබු කියන එක හැර මේ වචනය කුමන බසකින් ආවාද, මොන මොන දේවලට යොදනවා ද කියන එක පැහැදිලි මදි. තිරුවංගල් කියලා නගරයක රාමස්වාමි කෝවිලක් ඇති බව නම් අසා තියෙනවා. පේන විදියට මේක දෙමළ වචන ආශ්‍රිතව සිංහල අය හදා ගත්ත වචනයක් වගේ. මට හමුවුණු පළමු යෙදුම තමයි පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘අපේ කෙනෙක්’ කවි පන්තියේ එන “නැහැ පුඩුවේ-තිරුවංගල් රැස් බැබැලෙන” කියන එක. සමහර විට ද්‍රවිඩ ජනයා වෙසෙන ප්‍රදේශවල ඉන්න සිංහල ජනයා දෙමළ හා සිංහල මිශ්‍ර කරලා හදා ගත්තු එකක් බවක් පේනවා. එක වියතෙක් හිතුවේ දෙමළෙන් “තිරු” කියන පූජනීය කියන අර්ථයත්, සිංහලෙන් “අරුංගල්” කියන වචනයත් එකතු වෙලා “තිරු+අරුංගල්=තිරුවංගල් කියලා හැදෙන්න ඇති කියලා. ඔහු හිතුවේ මේක කඩුක්කන් වල පළඳින මැණික් ගල් විශේෂයක් කියලා. ඇත්තටම තිරුවංගල් කියලා මැණික් ගල් විශේෂයක් තියනවාද? තිරුවංගල් කියන එක ගැන තවත් කෙනෙක් තර්ක කලේ “ඕක ආභරණයක් නොවෙන්න බැරිද? ලාම්පුවක් වගේ වෙනත් යමක්? එහෙමත් නැති නම් එළිය වැටුනම දිලිසෙන යමක්? වෙන්න බැරිද කියලා. කෙසේ වෙතත් මෙය පැරණි සිංහල සාහිත්‍යයේ තිබුණු බවට දැනට නම් සාධකයක් මට නම් හමු වුනේ නෑ. කෙසේ වෙතත් අරුංගල් කියන්නේ නම් කරාබු වලට නිසා මෙසේ යෙදුවා වගේ පේනවා (කණේ අරුංගල් හරියට වගේ බැබිල මල්). දිවයින පත්තරේ පළ වූ නිලාර් ගේ ලිපියේ තිරුවංගල් කියන වචනය ගැන සඳහන් වෙන්නේ “ඒ කෙසේ වෙතත් තිරුවංගල් යනූවෙන් නම් දෙමළ පදයත් පිළිගත් දෙමළ වාග් කෝෂයන්හි හමූ නොවේ. මීට ආසන්තම ශබ්දයක් හා අර්ථයක් ඇති දෙමළ පද්‍ය "තිරුපහමනි" ය එනම් කරාබූවක හෝ නාසිකාභරණයක අග ඇති මූරිච්චියයි.” මේ අනුවත් හිතෙන්නේ තිරුවංගල් කියන එකත් සිංහල අය විසින් හදා ගත්තු වචනයක් කියලා. තවත් තර්කයක් වුනේ “තිරුවන්ගල් යනු කරාබු කියන්න බැහැ. මොකද මේ කියන යුවතියගේ කරාබු පෙනෙන්නට තිබෙන්න විදිහක් නැහැ. මට හිතෙන්නේ නහයට දමන මූකුත්තියට අමතරව මුස්ලිම් ලදුන් නාසයට වලල්ලක් වැනි ටිකක් ලොකු ආබරනයක් පල්දිනවා. එය විය හැකියි” යන්න. මේ මතයම තහවුරු කරමින් තවත් කෙනෙක් කීවේ “මේ ගැන අහපුවම වැඩි දෙනෙක් කිව්වේ තිරුවංගල් කියන්නේ උල්කරනවා, හෝ උල්වූ කොටස කියන එක. මෙය නාසයට පළඳන උල්වූ කරාබුවක් බවයි පෙන්නේ”. මේ අනුව පෙන්නේ මේ මුස්ලිම් යුවතිය නහයට තෝඩුවක් වගේ ම කරාබුවකුත් දාලා තියන බව.

( Chiran Windsor විසින් )

No comments:

Post a Comment