Thursday, November 29, 2018

සුභාවිත ගීතය


සුභාවිත ගීතය යනු කුමක් ද? මේ වදන භාවිතා කරන්නන් ඇසුරෙන් ව්‍යවහාරික නිර්වචනයක්
සමස්ත ලිපියම කෙටි කර දමන තෙක් - ලිපියේ මුල් කොටස් දෙක පෝස්ට් එකක් හැටියටත් - සමස්ත ලිපිය පහත ලින්කු දෙකෙනුත් භාගත කර ගත හැකි පරිදි අලවනවා
PDF Link:

ලිපියේ මාර්ග සිතියම


මෙම ලිපිය කොටස් පහකින් යුතු පාරක් ඔස්සේ ගලා ගෙන යනවා. පළමුවෙනි කොටසේ ඇති පරිච්ඡේද දෙක අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන අරමුණු සහ මෙම ලිපියේ සීමා නිර්ණය කිරීමටත්, සමස්ත ලිපියේ සාරාංශයක් විමසීම සඳහාත් වෙන් වෙනවා. දෙවන කොටසින් කෙරෙන්නේ “සුභාවිත ගීතය” යන ව්‍යවහාරය භාවිතා වන ආකාර දෙකක් සහ එම ආකාර දෙකටම බලපාන සුභාවිත ගීත නිර්ණය කරන නිර්ණායක සෙට් දෙකක් වෙත අවධානය යොමු කිරීම. තුන්වන කොටසේ පළමුවන පරිච්ඡේදයේ සිට හත්වන පරිච්ඡේදය දක්වා යොමු වන්නේ දෙවන කොටසේ කතා කළ “සුභාවිත ගීතය” යන වචනයේ භාවිතයන් දෙක තුළ යෙදෙන “අප්‍රකාශිත සහ අවිඥානික නිර්ණායක සෙට් එක”, ගී පද, තනුව, සංගීත අධ්‍යක්ෂණය, ගායිකා ගායිකාවන්, සහ පරම්පරාවන් ආදිය ආශ්‍රිතයෙන් සුභාවිත ලෝලීන්ගේ අදහස් ඇසුරෙන් සොයා ගැනීමට. හතරවන කොටස යොමු වන්නේ “සුභාවිත ගීතය” යන වදන භාවිතා වන අර්ථ දෙකෙන්ම “ප්‍රකාශිත නිර්ණායක සෙට් එක” දෙස බැලීමට. මේ කොටසේ දෙවැනි සහ තුන්වැනි පරිච්ඡේද තුළින් අමරදේව සුභාවිත ගීතයට දී ඇති අර්ථ කථන සහ මීට සමගාමී බටහිර ගීත ශෛලිය ලෙස අමරදේවයන් නම් කරන යුරෝපීය ආට් ගීත සම්ප්‍රදායේ තොරතුරු විමසා බලමු. පස් වන කොටසේ පරිච්ඡේද තුනෙන් “සුභාවිත ගීතය” යන ලේබලයේ ගැටලුවක් ඇද්ද? සුභාවිත ගීතය ඇත්තටම පවතින්නේ නැති දෙයක් ලෙස දකින හෝ එය පදනම් විරහිත හානිකර වර්ගී කාරණයක් යැයි පවසන පිරිසේ අදහස්, සහ අද නිවේදක නිවේදිකාවන් ප්‍රමුඛ අනිකුත් උදවිය “සුභාවිත ගීත” යන්න පාවිච්චි කරන විදිය ගැන විමසා බලලා, අන්තිම කොටස වන හය වෙනි කොටසින් පොදුවේ පිළිගත හැකි ප්‍රායෝගික ශබ්ද කෝෂ අර්ථයක් සහ සමාලෝචනය පිළිබඳ අපේ අවධානය යොමු කරමු.
1 වන කොටස - ලිපියේ අරමුණු
1.1. මේ ලිපියේ අරමුණු
1. අපි මෙතන මූලික වශයෙන් හොයන්නේ ප්‍රායෝගික භාවිතයේ "සුභාවිත ගීතය" කියලා හඳුන්වන්නේ මොකක්ද කියන එක සහ ඒ අනුව සිංහල සුභාවිත ගීත රසික රසිකාවියන් ලෙස හැඳින්වෙන පිරිස් “සුභාවිත ගීතය” කියන සංකල්පය නිර්වචනය කරන්නේ සහ සීමා මායිම් නිර්ණය කරන්නේ කොහොමද කියන එක.
2. ඒ වගේම සංක්ෂිප්තව “සුභාවිත ගීතය” කියන එක ශබ්ද කෝෂයකට ඇතුළත් කිරීමට තනා ගත හැකි විවිධ සංගීත ශානරයන් (Genres) අගයන සියලු දෙනාම අඩු වැඩි වශයෙන් පොදුවේ පිළිගත හැකි අර්ථයක් සෙවීම තවත් අරමුණක්.
3. අපි මෙතන හොයන්නේ සිංහල සුභාවිත ගීතය කියන්නේ “කුමක් විය යුතුද?” කියන ප්‍රශ්නයට පිළිතුරු නෙවෙයි. අපි හොයන්නේ “සිංහල සුභාවිත ගීතය යනුවෙන් එම වචනය භාවිතා කරන්නන් අදහස් කරන්නේ කුමක් ද?” යන ප්‍රශ්නයට පිළිතුරැ. සිංහලෙන් කිව්වොත් “What is referred as subhavitha Songs?” මිසක් “What subavitha songs should be?” කියන එක නෙවෙයි.
4. ඒ වගේම සුභාවිත ගීතය යනු කුමක් ද යන්න ගැන විද්වත් අදහස් සහ “සුභාවිත” වර්ගීකරණය හිස් ලේබලයක් පමණක් යැයි පවසන පිරිසේ අදහස් සලකා බලා ඇතත්, මෙහිදී මූලිකව අවධානය යොමු කරන්නේ ව්‍යවහාරයේ පවතින “සුභාවිත” වචනය පාවිච්චි කරන අය තුළින් නිර්වචනයක් උකහා ගන්න. එය විද්වත් නිර්වචන වලට වෙනස් වෙන්න පුළුවන් බවත් මතක තියා ගන්න ඕන.
5. සමහරුන් පවසන්නේ “"සුභාවිත ගීතය"” නමින් හඳුන්වන භාවිතය “සාපේක්ෂ”, “පුද්ගලානුබද්ධ” එකක් කියලා. ඕනෑම වචනයක් අරුත් ගැන්වෙන්නේ පුද්ගලානුබද්ධව වුනත්, මෙම නිර්වචනය පුද්ගලානුබද්ධ එකක් නම් සමාජයක් පොදුවේ “සුභාවිත ගීතය” කියන පදය භාවිතා කරන්න තියෙන ඉඩ අඩුයි.
ඕනෑම මෘදු සංකල්ප නිර්වචනයක වගේම සුභාවිත නිර්වචනයේත් “මනෝමූලික” බවක් ඇතත්, නිර්ණායක අනුව යන කොට පුද්ගලානුබද්ධ සහ සාපේක්ෂ ගතිය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. වත්මන තියෙන ලොකුම ගැටලුව සුභාවිත ගීත නිර්ණායක වල තිබෙන අපැහැදිලි බව කියලයි හිතෙන්නේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් අවිඥානික මට්ටමකින් මේ “සුභාවිත ගීත” කියන එක යම් යම් පොදු ලක්ෂණ ඇති ගීත කුලකයකට සමාජයේ භාවිතා වෙනවා කියන එකයි මගේ අදහස. සමහර රසිකයෝ කියන විදියට “ගීත සුභාවිත වෙන්නෙ අහන කෙනා අනුව හෝ ඔවුන්ගේ රසය අනුව නෙවෙයි. ඒ ගීතවලට යම් යම් නිෂ්චිත වූ ලක්ෂණ සපුරා තියෙන්න ඕන” කියලා කියන්න පුළුවන් නම්, ඒ නිර්ණායක මොනවාද කියලා හොයන එකයි අපි කරන්නේ.
6. මෙතෙක් මා තුළ පැවති “සුභාවිත ගීතය” යැයි හැඳින්වෙන ගීත ගැන අදහස විකුම්ප්‍රිය, ලූෂන් බුලත්සිංහල, සුනිල් සරත් පෙරේරා, පරාක්‍රම කොඩිතුවක්කු, ගීත රචක ආනන්ද පද්මසිරි, කියන අදහස්වලට අඩු වැඩි වශයෙන් සහ දිනාලි, රුමල් මේ ගැන දරන අදහසට සමානයි. නමුත් මම එක අදහසක එල්බ ඉන්නේ නැහැ. මගේ ආකල්ප සහ අදහස්, නව තොරතුරු ආදී සාධකත් එක්ක නිරන්තරයෙන් පරිණාමය වෙමින් පවතිනවා. මේ සෙවිල්ලෙනුත් මට විශාල නව දැනුමක් ලැබුනා වගේම මගේ ආකල්ප සහ අදහස් සෑහෙන මට්ටමකින් වෙනස් වුනා. නමුත් මා තුළ මේ ආකල්පය තිබූ බව දන්නා නිසාම හයිඩීගර් (Martin Heidegger- 1962) කීවා වගේ පුද්ගලික ආකල්ප සහ අදහස් බ්රැකට් කරන්න හෙවත් වරහන් ඇතුළේ දමලා, නිරුවත් දෑසින් මේ දිහා බලන්න උත්සහ කළත්, මේ සමාලෝචනය මගේ අදහස්වලින් පාට වැටෙන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න බැහැ.
7. මෙය සුභාවිත ගීත සමූහයක් වෙන “පැරණි සිංහල ගීත රසික හවුලේ” බුද්ධි ගයාශාන් Buddhi Gayashan Jayasekara පල කළ පෝස්ට් එකක දී සහ ගණිතය පිලිබඳ අනුබද්ධ මහාචාර්ය කෙනෙකු සහ ගීත රචකයකු වන විකුම්ප්‍රිය පෙරේරා නලීන් ජයවර්ධනගේ පොතකට ලියූ පෙර වදනක් වටා නලීන්ගේ පිටේ ඇති වූ සාකච්චාවක දී අරුණ Aruna Ranawaka, @උපුල් හේවා, @වසුන්දරා අතුකෝරල, බුද්ධි Buddhi Gayashan Jayasekara, අමා Ama Nayanadari Siriwardena, දුශාන් අත්තිඩියවිදාන, රෝහිත Rohitha Pradeep, සහ රුමල් Rumal Jayamuni, දිනාලි Dinali Perera, සරත් Sarath Senadheera, ජයනාත් Jayanath Perera, විකුම්ප්‍රිය Vicumpriya Perera, නලීන් Nalin Jayawardena, හෂිත @Hashitha Abeywardana, දීප්ත Deeptha Wimalaratne, බන්දුල Bandula Bandula Liyanage, අජිත් Ajith Wettasingha, ප්‍රභාත් Prabath Rajasooriya, මෙනූතී Menuthi Sriwickramanayeke, ලකී Lucky Liyanage, තුෂාර @Thushara Priyawansha, ආදී පිරිසකගේ අදහස් සහ “සුභාවිත ගීත” ගැන අන්තර්ජාල සෙවිලි වලින් සහ සිංහල ප්‍රවීණ යැයි සම්මත ගීත රචකයින් පස් දෙනෙක් සමග දුරකථනයෙන් කරන ලද සාකච්චා පහක් ඇසුරෙන් ලබාගත් කරුණු මා විසින් විශ්ලේෂණය කර සමාලෝචනය කිරීමක්.
8. මේ ලිපියේ අරමුණ රසිකයෙක් "සුභාවිත ගීතය" ගැන තිබෙන ආකල්ප වෙනස් කිරීම නොව තියෙන ආකල්ප අවබෝධයකින් යුතුව අනිකුත් අයගේ ආකල්ප ගැනත් වටහා ගනිමින් ස්ථිර කර ගැනීමයි.
9. මෙම ලිපියේ ඇති මූලිකම දුර්වලතාවයක් තමයි අපිට අමරදේව හැරුණු විට ගීත සාහිත්‍ය අංශයේ වෙනත් විද්වතෙක් “සුභාවිත ගීතය” යන පදය උපයෝගී කර ගෙන එය නිර්වචනය කරන කිසිදු මුද්‍රිත ලේඛනයක් නොලැබීම.
1.2. සාරාංශය
“සුභාවිත ගීතය” යන්න 1960 හෝ 70 දශකයේ අමරදේවයන්ගේ ගීත ගැන ලියවුනු ලිපියක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පළමු වරට භාවිතා කිරීමෙන් පසුව අමරදේව සිය ලිපි මගින් තමන්, සරච්චන්ද්‍ර, සුනිල් සාන්ත, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, ඩෝල්ටන් අල්විස්, මඩවල එස් රත්නායක, වැනි පිරිසකගේ නිර්මාණ වර්ගීකරණය කිරීමට යොදා ගත්, ඔහු විසින් ප්‍රවර්ධනය කළ වචනයක්. සරච්චන්ද්‍ර වැනි විශ්වවිද්‍යාලඥයන් (සටහන 1 බලන්න) සහ අමරදේව වැනි විද්වතුන් මෙම වචනය භාවිතා කළේ බටහිර ගීත සාහිත්‍යයේ එක ගීත වර්ගීකරණයක් වෙන Arts Songs (කලාත්මක ගීත) කියන ශානරය (ප්‍රභේදය / Genre) හැඳින්වීමට.
එසේ වුවත් මෙම වදනේ තාක්ෂණික ගැටලුවක් නිසා “හොඳ ගීත” සහ “නරක ගීත” බෙදා වෙන් කෙරෙන නිර්ණායකයක් ලෙසට බහුතර රසික රසිකාවියන්, විචාරක විවිචාරිකාවන්, ගීත නිර්මාණ ශිල්පී ශිල්පිනීන් (පද රචක, තනු නිර්මාණ, සංගීත අධ්‍යක්ෂණ, වාදන ශිල්පී ශිල්පිනීන්, සහ ගායන ශිල්පී ශිල්පිනීන්) සහ සිංහල ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් ද යොදා ගෙන ඇති බව පේනවා. සුභාවිත ගීතය වටහා ගැනීමේ දී මේ ද්විත්ව අරුත හැර “සුභාවිත ගීත”, “හොඳ ගීත” අරුතින් ගත්තම එවන් ගීත මොනවාද කියා තීරණය කරන සවිඥානික සහ ප්‍රකාශිත නිර්ණායක එකතුවක් වගේම අවිඥානික සහ අප්‍රකාශිත නිර්ණායක සමූහයකුත් ලෙස නිර්ණායක සෙට් දෙකක් තිබීමත් තව දුරටත් සුභාවිත ගීතය යන පදය වටහා ගැනීම අපහසු කරනවා.
සුභාවිත ගීත “හොඳ” ගීත ලෙස නිර්ණය කෙරෙන විධිමත් (formal) ප්‍රකාශිත (stated) නිර්ණායක අතර, යම් ආකාර උසස් ප්‍රමිතීන්ට අනුව සැකසුනු ගීතයක අංග හතර හෝ පහේ (1. පද රචනය, 2. තනුව, 3. සංගීත අධ්‍යක්ෂණය සහ වාදකයින්, 4. ගායනය, 5. චිත්‍රපට, නාට්‍ය සහ රූපවාහිනී වැනි දෘශ්‍ය මාධ්‍යක නම් රූප රචනය හෝ රංගනය) සුසංයෝගයෙන් සමස්ත ගීතය මගින් දෙන්න අරමුණු කරන හැඟීම හෝ හැඟීම් (භාව, feelings, emotions) සහ අමරදේව වැනි විද්වතුන් කතා කර නැති ගීතයෙන් දෙන සමාජමය පණිවුඩය ජනනය කරන සහ ප්‍රවර්ධනය කරන ගීත ලෙස සමාලෝචනය කරන්න පුළුවන්.
සුභාවිත හෙවත් “හොඳ” ගීතයක් නිර්ණය කරන “අප්‍රකාශිත-අවිඥානික” නිර්ණායක සෙට් එක තුළ 
1. වේග රිද්ම නොවන, 2. ඉන්දීය හෝ වෙනත් රටක තනුවක් නොවන, 3. දේශීය ආරක් ඇති තනුවකින් සමන්විත, 4. පෙරදිග සංගීත භාණ්ඩ වැඩිපුර යොදා වාදනය කෙරෙන, 5. අධික ශබ්දයකින් යුතු (ඊනියා ටකරං) සංගීතයක් නැති, 6. අධි තාක්ෂණය භාවිතා නොකරන ලද සංගීතයක් ඇති, 7. සහ මෙවැනි ලක්ෂණ ඇති ගීත වැඩිපුර ගායනා කිරීම නිසා සුභාවිත ගායන ශිල්පී ශිල්පිනියන් ලෙස ප්‍රතිරූපයක් ඇති අය විසින් ගැයෙන ගීත, කියන නිර්ණායක තියෙන බව පේනවා.
2 කොටස - සුභාවිත ගීතයේ ද්විත්ව අරුත සහ නිර්ණායක සෙට් දෙක
2.1. සුභාවිත කියන ලේබලය නිර්මාණය කළේ කවුද?
රසිකයන් විශ්වාස කරන ආකාරයට මේ සුභාවිත ගීත කියන සංකල්පය ආවේ භාෂා දැනුමෙන් සහ පැරණි සිංහල සහ සංස්කෘත විද්වත් සාහිත්‍යෙන් සහ ජන සාහිත්‍ය ඇසුරෙන් පොහොසත්, වියතුන් යැයි සැළකෙන, වැඩිහිටි පරම්පරාවට අයත් සාහිත්‍යමය ප්‍රභූ පන්තියක් විසින්. සමහරුන් කියන්නේ එය එක්තරා සංගීත ප්‍රභූ (elite) ගායක කුලයක් තමන්ටම අලවාගත් ලේබලයක් කියලා. මෙහෙම කියන පිරිස අතරත් “සුභාවිත” ලේබලේ ඇලවුණු ප්‍රවීණ පද රචකයන් පවා සිටිනවා.
සිංහල භාෂා සාහිත්‍ය සහ ගීත සාහිත්‍යයේ විද්වතුන් ද වන ගී පද රචකයන් පස් දෙනෙක්ගෙන් මේ ගැන විමසූ විට ඔවුන් කීවේ “සුභාවිත ගීතය” යන වචනය සිංහල භාෂාවට මුල් වරට හඳුන්වා දුන්නේ අමරදේව කියලා ඔවුන් හිතන නමුත් හරියටම මොන පොතෙන් ද එහෙම හඳුන්වා දුන්නේ කියලා මතක නැති බව. එහෙත් සුනිල් සරත් පෙරේරා මීට වෙනස් තොරතුරක් කිව්වා. ඔහු කීවේ ඔහුට මතක හැටියට 60 හෝ 70 දශකයේ අමරදේව උපහාරයක් සඳහා කරපු “අමරදේව ප්‍රතිසන්වේද” වගේ නමක් ඇති පොතක ලිපියක් ලියමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මේ වචනය හඳුන්වා දුන් බව. ඒ වෙලාවේ ඔහුට ඒ සඟරාවේ හෝ පොතේ නම මතක් වුනේ නැහැ. නමුත් ඔහු කීවා සරච්චන්ද්‍ර “සුභාවිත ගීතය” කියන වචනයට පසුව වරහන් ඇතුළේ Art Songs කියලා ලියලා තිබුණු බව හොඳට මතකයි කියලා.
2.2. සුභාවිත ගීතය යන්න අද භාවිතා වන අරුත් දෙක
2.2.1. “සුභාවිත ගීතය” ගීත ශානරයක් හෙවත් ප්‍රභේදයක් Genre (ජොන්ර) එකක් ලෙස වර්ග තුනක වර්ගීකරණයකින් එක ප්‍රභේදයක් ලෙස සැළකීම
අමරදේව සහ සරච්චන්ද්‍ර (“අමරදේව ප්‍රතිසන්වේද” ග්‍රන්ථය මූලාශ්‍රය තවදුරටත් තහවුරු කර ගත යුතුයි) ජන ගී (Folk songs), ජනප්‍රිය ගී (Popular songs), සහ සුභාවිත ගී (Art Songs) යනුවෙන් කොටස් තුනකට බෙදෙන බවත් සුභාවිත ගීත ප්‍රභේදයට සමාන ඉංග්‍රීසි යෙදුම Art Songs ලෙසත් ඍජුව පවසනවා. මේ අනුව පහත දැක්වෙන පරිදි මේ වචනය හඳුන්වා දුන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සහ මේ වචනය සුලභව භාවිතා කළ සහ ප්‍රචලිත කළ අමරදේවයන් මේ වචනය භාවිතා කළේ අද බොහෝ දෙනෙක් භාවිතා කරන අයුරින් ඊනියා “නරක” සහ “හොඳ” කියන අරුතෙන් නොව ගීත ප්‍රභේදයක් හෝ වඩාත් සුවිශේෂීව කීවොත් ඉංග්‍රීසියෙන් Art Songs කියන ගීත ශානරයට, genre ජොන්ර එකට සමානව හෝ සමාන්තර “සිංහල ගීත ශානරයක්” ලෙසට බව පැහැදිලියි.
සුභාවිත ගීතය යන්න පැටලවිලි සහගත වෙන්නේ රසිකයින් මෙන්ම පද රචකයින් ආදී ගීත නිර්මාණ ශිල්පීන් කොටසක්, "සුභාවිත ගීතය" මීට වෙනස් අයුරකිනුත් අර්ථ දැක්වීම නිසා.
2.2.2. “සුභාවිත ගීතය” යන්න වචනාර්ථයෙන් ගෙන යහපත් හෝ හොඳ ගීත ලෙසත් “සුභාවිත නොවන ගීත” එම ප්‍රමිතියේ නැති ගීත ලෙසත් වර්ග දෙකක “හොඳ-නරක” වර්ගීකරණයට අයත් එක් ගීත ප්‍රභේදයක් ලෙස සැළකීම
“සුභාවිත ගීත” යන්න වචනාර්ථයෙන් පමණක් ගත්තොත්, නැතහොත් “සුභාවිත” යන්න “ගීතය” යන පදයට යෙදුනු නාම විශේෂණයක් ලෙස සැලකුවොත්, යහපත් ලෙස හෝ නිවැරදිව භාවිතා වෙන හෝ භාවිතා වුනු ගීත කියන අර්ථය එනවා. මේ අනුව යන සමහර රසික රසිකාවියන්, වීචාරක විචාරිකාවියන් පමණක් නොව ගීත ශිල්පී ශිල්පීනුත් හොඳ ප්‍රමිතියක ගුණාත්මක ගීත හෙවත් “සුභාවිත ගීත” සහ එසේ නොවන අඩු ප්‍රමිතියකින් යුතු ගීත හෙවත් “සුභාවිත නොවන ගීත” යන කොටස් දෙකට විතරක් ගීත බෙදනවා. මේ අය අනුව “ජනප්‍රිය” (popular), “ජන” (folk), සම්භාව්‍ය (classical) ආදී ඕනෑම ශානරයකට (ප්‍රභේදයකට) අයත් ගීත මේ ගොඩවල් දෙකින් එකකට විතරක් දැමීම සිරිතක් බව පේනවා. ලොව පවතින සිය ගණනක් genres හෙවත් ශානර ගැන සුළු අවබෝධයක් ලැබීමට පහත ලින්කුව බලන්න:
https://www.musicgenreslist.com/
තවත් සමහරු, “සුභාවිත ගීතය” යන පදයට ඇති මේ එකිනෙකට වෙනස් වූ අරුත් දෙක සහ නිර්ණායක සෙට් දෙක පටලවා ගෙන කතා කරන බවත් පේනවා.
2.3. “සුභාවිත ගීතය” යනු “හොඳ” ගීත යන අරුතින් ගත්තම පේන්න තියෙන “ප්‍රකාශිත” සහ “අප්‍රකාශිත” නිර්ණායක සෙට් දෙක.
සුභාවිත ගීතය යන්න මූලිකව අර්ථ දෙකක් ඇතිව භාවිතා වීමට අමතරව “සුභාවිත ගීත” සංකල්පය තවත් සංකීරණ වෙන්න දෙවැනි හේතුව තමයි “සුභාවිත” කියන්නේ ඊනියා “හොඳ ගීත” කියන අරුතෙන් ගත්ත විට පවා, ඒවා නිර්ණායක සෙට් දෙකකට බෙදීම.
2.3.1. ප්‍රකාශිත නිර්ණායක සෙට් එක
පහල චේදයක වැඩි විස්තර දැක්වෙන පරිදි “උසස් ප්‍රමිතීන්ට අනුව සැකසුනු ගීතයක අංග හතර හෝ පහේ සුසංයෝගයෙන් සමස්ත ගීතය මගින් දෙන්න අරමුණු කරන හැඟීම හෝ හැඟීම් (භාව, feelings, emotions) සහ ගීතයෙන් දෙන සමාජමය පණිවුඩය ජනනය කරන සහ ප්‍රවර්ධනය කරන ගීත සුභාවිත ලෙස හැඳින්වෙන බව” තමයි මේ නිර්ණායක සෙට් එකේ සාරාංශය.
2.3.1. “අප්‍රකාශිත-අවිඥානික”, සහ ව්‍යංග (periphrastic) නිර්ණායක සෙට් එක
පහල චේදයක වැඩි විස්තර දැක්වෙන පරිදි 1. වේග රිද්ම නොවන අඩු හෝ මධ්‍යම වේග රිද්ම ඇති, 2. ඉන්දීය හෝ වෙනත් රටක තනුවක් නොවන, 3. කැපී පෙනෙන දේශීය ආරක් ඇති විදේශීය ලක්ෂණ අවම තනුවකින් සමන්විත, 4. පෙරදිග සංගීත භාණ්ඩ වැඩිපුර යොදා වාදනය කෙරෙන, 
5. අධික ශබ්දයකින් යුතු (ඊනියා කොත්තු, ටකරං) සංගීතයක් නැති, 6. සහ මෙවැනි ලක්ෂණ ඇති ගීත වැඩිපුර ගායනා කිරීම නිසා සුභාවිත ගායන ශිල්පී ශිල්පිනියන් ලෙස ප්‍රතිරූපයක් ඇති අය විසින් ගැයෙන ගීත, කියන නිර්ණායක හතකින් යුත් අප්‍රකාශිත ව්‍යංග වගේම බොහෝ විට අවිඥානිකව භාවිතා වෙන නිර්ණායක සෙට් එක. ඉදිරියට යන කොට මේ අප්‍රකාශිත නිර්ණායක සහ අවිඥානිකව අපේ ඔලු වල ඇති අප්‍රකාශිත නිර්ණායක මොනවා ද කියලා විස්තර ඇතිව බලමු.
අප්‍රකාශිත නිර්ණායක භාවිතයත් යම් තරමකට පුද්ගලානුබද්ධ වුනත්, සාපේක්ෂ වුනත් එවැනි මිනුම් දණ්ඩක් පොදුවේ භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට වැඩපොලක සුදු කරපටි නිලධාරීන්ගේ කාර්ය සාධනය මනින මනෝමූලික ක්‍රම වගේ. නමුත් ගැටලුව වෙන්නේ බොහෝ දෙනෙක් තමන් නොදැනුවත්වම ප්‍රකාශිත සහ අප්‍රකාශිත කියන නිර්ණායක සෙට් දෙකෙන්ම මිනුම් අරන් පටලවා ගන්න බවකුත් පෙනෙන්න තිබීම.

Tuesday, October 16, 2018

ජෝන් ද සිල්වාගේ නාට්‍ය ගීත



මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය. පිටකෝට්ටේ ක්‍රිස්තියානි පාසලින් මූලිකඅධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ඇකඩමියට ඇතුළුව වී උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු සාන්ත ජෝන්විද්‍යාලයේත්, වෙස්ලි විද්‍යාලයේත් ඉංග්‍රීසි ගුරුවරයෙකුලෙස කටයුතු කරඇත. ගුරු වෘත්තියේ යෙදී සිටියදීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු ඒ තුළින්ජාත්‍යාලය සහ මවුබිමේ වටිනාකම කෙරෙහි ජනතා මනස අවදිකරවීමට කටයුතු කළේය. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළේ සාහිත්‍ය හා ලේඛන කලාවට මූලිකත්වය දෙමිනි.

පිටකොටුවේ පිහිටි ෆ්ලවර්හෝල් නාට්‍ය ශාලාවේ දී එවකට නූර්ති නාට්‍යකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සී. දොන් බස්තියන්ගේ නාට්‍යක් නැරඹීමෙන් නූර්ති කලාව කෙරෙහි ඇති වූ ගෞරවය නිසා නූර්ති නාට්‍ය කෙරෙහි ජෝන් ද සිල්වා නැඹුරු විය. 1885 දී සීමාසහිත ලංකා දේශීය නාට්‍ය සමාගම (Ceylon Oriental Dramatic Company Limited) නාට්‍ය සංගමය පිහිටුවන ලදී. ඒ තුළින් “නලරාජ චරිතය, රාමායණය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන” නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කරන ලදී. 1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසිනි. එම නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” යන ගීතය වර්තමානයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ද, විශාරද නන්දා මාලනිය විසින් ද ගයා ඇති අතර මෙම ගීතය එදා සිට අද දක්වා අවුරුදු 110කට වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත.

සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය තුළින් බිහිවිය. මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ තුළින් “දේවානම්පියතිස්ස, අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහියක්නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින්කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය, කැප්පෙටිපොළ, දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකලද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

චතුර කථිකයෙකු වූ එතුමා ජාත්‍යානුරාගය හා දේශීයත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අයෙකි. තම නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් පවසන අතරතුර ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන ලද්දේ ඉතා සූක්ෂම ලෙසින්ය. එතුමාගේ සියලු නාට්‍ය සියලුම රසයන්ගෙන් යුක්තය. සෑම නාට්‍යයකම හාස්‍ය යොදාගෙන ඇත. උදාහරණ වශයෙන් සිරිසඟබෝ නාට්‍යයේ බම්මන්නාගේ චරිතයත්, ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඉලංගෙයි මොහොට්ටාලගේ චරිතයත් හුවා දැක්විය හැකිය. ඔහු හාස්‍ය යොදාගනු ලැබුවේ විඩාවට පත්වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ අදහසින් හා පාලක සමාජයට ප්‍රබලව දියයුතු පණිවුඩ හාස්‍ය මාර්ගයෙන් උපාහාසාත්මකව ඉදිරිපත් කිරීමටයි.


සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ එතුමා නාට්‍යකරුවෙකු, කවියෙකු, කථිකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අයෙකි. 1880 දී විවාහපත් වූ එතුමාට එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙක් සිටි අතර බිරිඳගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය කරගන්නා ලදී. එම විවාහයෙන් එක් දියණියක් ලැබූ අතර එම බිරිඳ ද අකල් මරණයට පත්වීමෙන් තෙවැනි විවාහය කරගත් ඔහුට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණි. රටට, ජනතාවට මෙන්ම කලාවට ආදරය කළ සහ සුවිශාල සේවයක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මහතා 1922 ජනවාරි 28 වන දින අභාවප්‍රාප්ත විය. ජනවාරි මාසයේම ඉපිද ජනවාරි මාසයේම මියයෑම විශේෂ සිදුවීමකි. එතුමාගේ මරණය පිළිබඳ “සිංහල ජාතිය පුවත් පතේ” පළවූයේ මෙලෙසිනි. “ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.
විස්තර දිනමිණෙන්


Friday, September 7, 2018

“තිරුවංගල්”


“තිරුවංගල්” වග තුග සෙවීම

මේ වචනය ගැන කළ සෙවිල්ල අනුව දැනට එන්න පුළුවන් නිගමනය තමයි, තවමත් මේ වචනය සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ශ්‍රී ලාංකීය ජන සමාජයේ භාවිතා වන තැනක් හරියට සොයා ගන්න බැරි බව. ඒ වගේම මේ වචනය ද්‍රවිඩ හෝ වෙනත් බසකින් බිඳුනා නම් ඒ ගැනත් අනුමාන මිස පිළිගත හැකි සාධකයක් තවම හමුවී නැති බව. මේ වචනේ සිංහල ලිඛිත සාහිත්‍යයේ අවස්ථා තුනක එන බව පැහැදිලියි. ඉන් මුල්ම යෙදුම කළ පරාක්‍රම කොඩිතුවක්කු (හරි වුනත් වැරදි උනත්) මේක වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන් නාසයට දමන කරාබුවට කියන නමක් කියන දැඩි විශ්වාසයකින් ඒ වචනේ යෙදුව බව පැහැදිළියි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ 1970 දශකයේ වතුකරයේ මේ වචනේ එසේ භාවිතා වූ බවට තහවුරු කළ හැකි වෙනත් කෙනෙක් තවම හමු නොවීම. ඉන් පසුව තිරුවංගල් කියන වචනේ යොදපු මහින්ද චනද්‍රසේකර මේක කණේ දමන කරබුවක් කියලා උපකල්පනය කරලා තමයි යොදලා තියෙන්නේ. ඉන් පසුව තිරුවංගල් යොදපු රත්න ශ්‍රී විජේසිංහ මෙය කණේ පළඳින මැණික් ගලක් සහිත ආභරණයක් හෝ වඩාත් පැහැදිලිව කිවුවොත් කරාබුවක ඇති මැණික් ගලක් කියලා උපකල්පනය කරලා තියෙන්නේ. හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. නමුත් අද වෙන කොට මේ වචනේ ඒ අර්ථයෙන් සමාජය පිලි අරන් තියන බව පේනවා. එහි අර්ථය cliche එකක් බවට පත් වෙලා තිබුණත් ජනතාව එය අවබෝධ කර ගන්නේ කණේ දමන කරාබුවක් හෝ විශේෂිතව කිවුවොත් මැණික් ගලක් සහිත කරාබුවක් ලෙස බව පේනවා. ඒක එහෙම නම් ඒ අරුතින් මේක සිංහල ශබ්ද කෝෂයට එක වුනාවේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා හදා ගත්තු වචනයක් වුනත්.

කෝකිල සංදේශ කවි පොතේ


සිංහල ගීත හා සංදේශ කියන මාතෘකාව දැක්ක ගමන්ම මගේ මනසේ රැව් පිළිරැව් දෙන ගීත තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අජන්තා රණසිංහ රචනා කර ප්‍රියා සූරියසේනගේ තනු සහ සංගීත නිර්මාණයෙන් අප අතරට එන “ගෙල වට බැන්දා වූ මුතු පොටේ” ගීතයේ නිරංජලා සරෝජිනීගේ ළගන්නා හඬින් අප ළය මානයන්හී රැඳී ඇති “කෝකිල සංදේශ කවි පොතේ - ඔය වැනි උපමා ද තව ඇතේ” ගීත ඛණ්ඩය.
දෙවැනි ගීත ඛණ්ඩය තමයි කරුණාරත්න අබේසේකරගේ පද රචනයෙන් තිලකසිරි ප්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් අපට දායාද වූ “එන්න මද නලේ” ගීතයේ තිලකසිරි ප්‍රනාන්දු විසින්ම ශෝකී ලය මානයකින් ගායනා කරන “සෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කලා” කියන කොටස සහ “සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ - හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ” කියන කොටස.
ඒ වගේම තුන් වැනියට රූපා ඉන්දුමතී ගයන සුනිල් ආරියරත්න පද රචනය කළ, තනුව කාගේ දැයි හරියට සොයා ගත නොහැකි වූ “දේශයෙන් දේශේ බලා” ගීතයේ, “සංදේශයක් ලියා එවමි කා අතේ සැළලිහිණියෝ, රණ හංසයො කුරුල්ලන් නැතේ” සහ “පෙම් දූතයෙක් කලා එදා මේඝයක් පවා” කියන කොටස් දෙකත් අපේ මතකයට එනවා.
සංදේශ කාව්‍ය වල වගේම වෙනත් පුරාණ පද්‍ය සාහිත්‍යයේ භාවිතා වුන රසවත් යෙදුම් මෙන්ම පද සංකලනත් අපේ ගේය පද රචකයෝ අප සියලු දෙනාගේම හදවත් සුව පත් කරන දිව ඔසුවක් වන ගීත නිර්මාණය කිරීමේ දී අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ගීත හා ඊට ආලෝකය ලැබුවා යැයි සිතන කවි එකින් එක විමසා බලමු.

Sunday, January 7, 2018

අපේ අම්මා...


අපේ අම්මා කිරි කට්ටිය කපලා
එනවා කීයක් හරි ඇත මිටලා
ඒ බත් වැටුපෙන් දු දරුවන් හැදුවයි
උන්දැ තවමත් බඩගිනි උහුලයි

මගේ ඔප්පු පැල කොනේ දිරනවා
පොලෝ පලාගෙන යන්න හිතෙනවා
අතක් පයක් ඇත වැඩක් පලක් නැත
මොකක් කරන්නෙයි කියන්නේ දැන්

අපේ චක්කරේ අගක් මුලක් නෑ
ගැසූ පදත් නෑ බෙරේ හමත් නෑ
නගා මැලෑ සා දුකින් හඬනවා
නිකම්ම ඉන්නේ කොහොමෙයි මන්

ගී පද - ප්‍රණීත් අබේසුන්දර
සංගීතය /ගායනය - සනත් නන්දසිරි
වැඩි විස්තර

වෘන්දා වනේ


වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල නොවේ
ගෝපී රැඟුම් මන මෝහන නොවේ
පා යුග සිරින් මන නන්දන නොවේ
රූසිරු බඳින් මන රංජන නොවේ
පෙන්වන්න රාධා මධුකර විත..
වෘන්දා වනේ යමුනා තෙරේ
වෘන්දා වනේ....

නාරි ලාලන කෝළ දේහිනි මා නුවන් කලඹා
පානු රංගන හාව භාගිනි කෘෂ්ණ හද සනහා
ගොපිකාවිය දිව්‍ය ප්‍රේමිය පුෂ්ප මණ්ඩපයේ
රඟන්න රූ සිරු පා...

වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල වෙලා
ගෝපී රැඟුම් මන මෝහන කළා
පා යුග සිරින් මන නන්දන වෙලා
රූසිරු බඳින් මන රංජන වෙලා
පෙන්වන්න රාධා මධුකර විත..

පද රචනය: ප්‍රණීත් අබේසුන්දර
තනුව, සංගීතය හා ගායනය: සනත් නන්දසිරි
වැඩි විස්තර